Monday, July 23, 2012

මහාධන වෙළෙන්දාගේ කථා වස්තුව


අටවෙනි ගාථා රත්නය
මහාධන වෙළෙන්දාගේ කථා වස්තුව

"දැන අනතුරු වැළකිය යුතු"

පින්වතුනේ, පින්වත් දරුවනේ, බලාපොරොත්තු නැති විදිහට අපට කරදර ඇතිවෙන්න පුළුවන්.කල්තියාම අනතුරු දැනගන්න ලැබෙනවා.එතකොට නුවණැත්තා කළ යුත්තේ ඒ අනතුරු මගහැරෙන විදිහට කටයුතු කිරීම නේද? එවැනි දෙයක් ගැනයි අපි මේ කතා කරන්නේ.

සැවැත් නුවර මහාධන නමින් වෙළෙන්දෙක් සිටියා.මොහුගේ වස්තුව කොල්ලකෑමේ අදහසින් පන්සියයක සොරු රැළක් මාන බලමින් සිටියා.ඒත් අවස්ථාවක් ලැබුණේ නෑ.අන්තිමේදී සොරුන්ට ආරංචි වුණා මහාධන වෙළෙන්දා ගැල් පන්සියයක් අරගෙන ඈතට වෙළඳාමේ යන වග.

මහාධන වෙළෙන්දා හරි සැදැහැවත් කෙනෙක්.ඔහු භික්ෂූන් වහන්සේලාටත් ආරාධනා කළා.

"පින්වත් ස්වාමීන් වහන්ස, මං අසවල් පළාතට වෙළඳාමේ පිටත් වෙනවා.ගැල් පන්සියයක් ගමනට සූදානම්.චාරිකාවේ වඩිනවා නම් මා සමග වඩින්න.මා දානමානාදියෙන් උපස්ථාන කරන්නම්.එතකොට සුවසේ වඩින්න පුළුවන් නෙව."

ඉතින් පන්සියයක් භික්ෂූන් වහන්සේලා එයට කැමති වුණා.ඔහු සමග පිටත් වුණා.මහාධන වෙළෙන්දා වනාන්තරයට ආසන්න එක්තරා ගමක දින දෙක තුනක් නවාතැන් ගත්තා.ගොන්නුන්ට කෑම්බීම් සකස් කළා.බඩු බාහිරාදිය පිළිවෙලට ඇසිරුවා.

අර හොරු රැළ වේලාසනින්ම ගොස් වනාන්තරයේ හැංගුණා.මංකොල්ලකෑමට මාන බලාගෙන හිටියා.එක හොරෙකුට කිව්වා ගමට ගිහින් විපරම් කරන්න කියලා වෙළෙන්දා එන්නේ කවද්ද කියලා දැන ගැනීමටයි.ඉතින් මේ හොරා අර ගමට ගියා.ගිහින් තම මිතුරෙකුව මුණ ගැසුණා.

"මහාධන වෙළෙන්දා කැලෑ පාරෙන් පිටත් වෙන්නේ කවද්ද?"

"මං හිතන්නේ තව දවස් දෙක තුනකින් පිටත් වේවි.ඇයි ඒකම අවුස්ස අවුස්ස අහන්නේ...?"

"යහළුවා, කාරණය මේකයි.කැලෑවේ හොරු පන්සියයක කණ්ඩායමක් දැන් හැංගිලා ඉන්නවා.අපේ බලාපොරොත්තුව මේ ගැල් ටික අල්ලගන්නයි."

"හොඳයි! එහෙනම් උඹ පලයන්.අපි දවස් දෙක තුනකින් එනවා..."

ඉතින් මොහු තනියම කල්පනා කළා.'ඔව්! එතකොට මං ගන්නේ කාගෙ පැත්තද? හොරුන්ගේ පැත්තද? වෙළෙන්දාගේ පැත්තද? හොරුන්ගේ පැත්ත ගත්තා කියලා මට ප්‍රයෝජනයක් නැහැ.මේ අහිංසක භික්ෂූන් වහන්සේලා පිළිවෙත් පුරමින් චාරිකාවේ වඩිනවා.භාවනාවෙන් වාසය කරනවා.මේ වෙළෙන්දා දෙන දානයෙනුයි යැපෙන්නේ.බැරිවෙලාවත් සොරුන්ගේ ප්‍රහාරයකට වෙළෙන්දා ලක් වුණොත් මේ අහිංසක භික්ෂූන් වහන්සේලාත් විශාල කරදරයකට වැටෙනවා.මේ වෙලාවේ මං ගත යුත්තේ මේ වෙළෙන්දාගේ පැත්ත....'

ඉතින් අර තරුණයා වෙළෙන්දාගෙන් ඇහුවා.

"පින්වත, තව දවස් දෙක තුනකින් ඔබ වනාන්තර පාරට පිටත් වෙන්නම ඕනද?"

"ඇයි, ඔබ එහෙම අහන්නේ....?"

"මාව විශ්වාස කරන්න.පන්සියයක භයංකාර සොර මුලක් කලෑවට රිංගලා ඉන්නවා.උන්ගේ ඉලක්කය මේ ගැල් පන්සියය මංකොල්ලකෑමයි.ඒ නිසා දැන්ම යන්න එපා...!"

"කොහොමද ඔබ ඒක දන්නේ....?"

"ඒ හොර මුලේ ඉන්නවා මගේ යහළුවෙක්.ඔහුගෙනුයි මං මේ ඔත්තුව දැනගත්තේ..."

"බොහොම හොඳයි.එහෙනම් දැන්ම යා යුතු නැහැ."

ඉතින් මහාධන වෙළෙන්දා ඒ නිවසේම තව ටික කාලයක් නැවතුණා.හොරු රැළ බලාපොරොත්තු වෙච්ච දේ තාම සිදු වුණේ නැහැ.ආයෙමත් අර හොරාව පිටත් කළා.ඔහු ගිහින් කලින් පුද්ගලයාටම දැනුම් දුන්නා.එතකොට ඔහුගෙන් දැනගන්න ලැබුණා මහාධන වෙළෙන්දා ගමන කල් දැමූ බව.වෙන පාරකින් යන්න ලෑස්ති වෙද්දී ඒ පාරෙත් අර සොර මුල ඉන්නවා කියලා දැනගන්න ලැබුණා.මහාධන වෙළෙන්දා ඒ ගමන පිටත් වුණේ නැහැ.

"පින්වත් ස්වාමීන් වහන්ස, අපට මේ වතාවේ ඈත පළාතකට යන්න වෙන්නේ නැහැ.මං දැන් කීප විටක්ම සූදානම් වුණා.හොර මුලක් ගැවසෙනවා....යන්න විදිහක් නැහැ.මේ ප්‍රදේශයත් වෙළඳාම සරුයි.ඒ නිසා මං ටික කාලයක් මෙහි ඉන්නවා.ඔබවහන්සේලා කැමති නම් මෙහි වැඩ ඉන්න.නැත්නම් වඩින්න."

"පින්වත, අපි එහෙනම් ආපහු වඩින්නම්" කියලා යළි ඒ භික්ෂූන් වහන්සේලා සැවැත් නුවරට වැඩියා.භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා.

"පින්වත් මහණෙනි, මහාධන වෙළෙන්දා සමග චාරිකාවේ පිටත් වුණා නේද? ඇයි ගමන කඩාකප්පල් වුණාද?"

"එසේය, ස්වාමීනි.මහාධන වෙළෙන්දා පාරවල් දෙකකින් ගමනට සූදානම් වුණා.පන්සියයක සොරු රංචුවක් කැලෑ වැදිලා මහාධන වෙළෙන්දා ඉලක්ක කරගෙන ඉන්නවා කියලා දැනගන්න ලැබුණා.ඒ නිසා ඔහු එහිම නැවතුණා.ඉතින් අපි හැරිලා ආවා."

"දැන් බලන්න පින්වත් මහණෙනි, සොරුන්ගෙන් වන අනතුර වේලාසනින් දැනගත් මාහාධන වෙළෙන්දා ඒ භයානක මාවත අත්හැරියා නෙව.ජීවත් වෙන්න ආස කරන කෙනා හලාහල විෂ තියෙන ආහාරය කොයිතරම් සුවඳ තිබ්බත්, රස තිබ්බත් අනුභව කරන්නේ නැහැ.අත්හරිනවා.ඒ වගේ ඔබත් කාම, රූප, අරූප සෑම භවයක්ම දැක්ක යුත්තේ භයානක සොරුන් අරක්ගත් මාර්ගයක් ලෙසයි.ඒ විදිහට සළකා සියලු පව් අත්හළ යුතුයි."

ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලා, මහාධන වෙළෙන්දා අරභයා මෙම ගාථාව වදාළා.

123.8.

වාණිජෝ'ව භයං මග්ගං - අප්පසත්ථෝ මහද්ධනෝ
විසං ජීවිතුකාමෝ'ව - පාපානි පරිවජ්ජයේ

මහධන නම් වෙළඳතුමා - රැකවරණය නොමැති නිසා
බියගෙන දෙන මංමාවත් - අත්හැර මගහැරිය ලෙසින්
ජීවත් වනු කැමති කෙනා - වස විස දුරු කරන ලෙසින්
දුක් බිය උපදන කාමය - අත්හළ යුතු මේ විලසින්

පින්වතුනේ, පින්වත් දරුවනේ, අනතුර දැක්ක විට එය මගහැරීම නැණවතුන් විසින් කරන දෙයක්.තමන්ගේ යහපත සළකන කෙනා පවිටු මිතුරන්ගේ අනතුර දැනගත යුතුයි.භයානක තැන්වලට නොයා යුතුයි.එමෙන්ම පවෙහි ඇති අනතුර ද දැක්ක යුතුයි.එයින් වැළකිය යුතුයි.

අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 9 ( පාප වර්ගය )
- පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ -

(Picked from Facebook

No comments:

Post a Comment