Saturday, July 21, 2012

:::මුචලින්ද සූත‍්‍රය:::



:::මුචලින්ද සූත‍්‍රය:::

මුචලින්ද නා රජු අරභයා වදාළ උදානය.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි.
ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වී වදාළ අලූත,
උරුවෙල් ජනපදයේ නේරංජරා ගං තෙර
මුචලින්ද (මිදෙල්ල) රුක් සෙවනේ වැඩසිටියේ.
ඉතින් ඒ දිනවල භාග්‍යවතුන්
වහන්සේ ඒ අමා නිවන් සුව විඳිමින් සතියක්ම එකම පළඟින් වැඩසිටියා.


ඒ දවස්වල හත් දවසක් එක දිගට වහින, සීතල සුළං හමන, නා කපන
මහා අකල් වැස්සක් වැස්සා.

එතකොට මුචලින්ද නාග රාජයා තමන්ගේ
භවනෙන් නික්මිලා ආවා. භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රී ශරීරය දරණවලින් හත්
වටක් වෙළා ගත්තා. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සිරස් තලයට ඉහළින්
මහත් වූ පෙණය විහිදාගෙන සිටියේ

‘භාග්‍යවතුන් වහන්සේට සීතලක්
ඇතිවෙන්න එපා! භාග්‍යවතුන් වහන්සේට උණුසුමක් ඇතිවෙන්න එපා!
භාග්‍යවතුන් වහන්සේට ලේ බොන මැසි, මදුරු ආදීන්ගෙන්, අව් සුළං, සර්ප
ආදීන්ගෙන් නපුරු පහසක් නම් වෙන්න එපා!’ කියලයි.

ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ හත් දවස ගෙවුනට පස්සේ ඒ සමාධියෙන්
නැගිට වදාළා. එතකොට මුචලින්ද නාග රාජයා, වැහි වළාකුළු පහවෙලා ගිය
පිරිසිදු අහස ඇති බව දැනගත්තා.

භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රී ශරීරය වෙළා
ගෙන සිටි දරණ වැල ඉවත් කරගත්තා.

තමන්ගේ නාග වේශය වෙනස් කරලා
තරුණයෙකුගේ වේශයක් මවාගත්තා.

භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියේ
භාග්‍යවතුන් වහන්සේට වැඳගෙන හිටගත්තා.

ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ
උදානය වදාළා.

”සද්ධර්මය අවබෝධ වීම නිසා ඒ අමා නිවන දකින සතුටු සිත් ඇති
රහතන් වහන්සේට ඒ චිත්ත විවේකය හරි සැපයි. කෝප රහිත බව හරි සැපයි.
ලෝකයේ සතුන් ගැන අහිංසාව ඇතිවීමත් සැපයි.
මේ ලෝකයේ කාමයන් ඉක්මවා ගිය, විරාගී ධර්මය හරි සැපයි. ‘මම
වෙමි’ යන මානයේ යම් දුරුවීමක් වේ නම්,
ඒ අරහත්වය තමයි උතුම්ම සැපය.”

සාදු! සාදු!! සාදු!!!

:::ඛුද්දක නිකාය - මුචලින්ද වර්ගය:::



(Shared from Facebook

No comments:

Post a Comment