Saturday, July 21, 2012

සන්තති ඇමතියාගේ කථා වස්තුව


දාහතරවෙනි ගාථා රත්නය
සන්තති ඇමතියාගේ කථා වස්තුව

"පින පල දෙන හැටි පුදුමයි"

පින්වතුනේ, පින්වත් දරුවනේ, ධර්මය අවබෝධ වන විදිහ අපට හිතාගන්න බැහැ.එය තේරුම් ගත හැක්කේ බුදු ඇස තිබෙන භාග්‍යවතුන් වහන්සේට විතරයි.අපගේ භාග්‍යවතුන් වහන්සේට බුදු ඇස තියෙනවා.බුදු ඇස කියන්නේ විශේෂ ඤාණ දෙකක්.ඒ කියන්නේ සත්වයන්ගේ ආසයානුසය දන්නා ඤාණයක් තියෙනවා.ඒ තුළින් කෙනෙකුගේ දුර්වලතා පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් උන්වහන්සේට ලැබනවා.ඒ වගේම ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණය කියලා තව ඤාණයක් තියෙනවා.එයින් සත්වයන්ගේ ධර්මාවබෝධයට ඇති හැකියාව පිළිබඳව පූර්ණ වාර්තාවක් ලැබෙනවා.මෙය බුදුරජාණන් වහන්සේට පමණයි තියෙන්නේ.එයින් තමයි උන්වහන්සේ තව කෙනෙකුගේ මාර්ගඵලාවබෝධයේ ප්‍රමාණය ගැන පවසන්නේ.


දැන් ඔබ ඉගෙන ගන්නේ එවැනි කතාවක්.හරි පුදුම විදිහට මේ පින්වත් කෙනා ධර්මය කරා ගියා.එක් කාලයක කොසොල් රජ්ජුරුවන්ගේ රාජධානියෙහි එක්තරා ඈත ප්‍රදේශයක කැරැල්ලක් ඇතිවුණා.රජතුමා සන්තති නම් වූ මහ ඇමතිතුමා එය මැඬලන්න පිටත් කළා.ඔහු කැරැල්ල මැඬලා ආපසු ආවා.රජතුමාට හරි සතුටුයි.රජතුමා හත් දවසක් රජෙකුට වගේ සැළකිලි දැක්කුවා.නැටුම්, ගැයුම් වලට දක්ෂ ඉතා සුරූපී ස්ත්‍රියක් උපස්ථානයට දුන්නා.දැන් ඔහු රජෙක් වගේ ඉන්නවා.දවස් හත ගෙවිලා ගියා.අන්තිම දවස නිසා ඇති පදමට බිව්වා.රජ ඇඳුමෙන් සැරසිලා ඇතා පිට නැගී නාන්න පිටත් වුණා.

ඒ මොහොතේ අපගේ ශාස්තෘන් වහන්සේ පිඬු සිඟා වඩිනවා.උන්වහන්සේ දොරටු අතර වැඩසිටියා.ඔය අතරේ සන්තති අමාත්‍යා ඇතා පිටින් යනවා.ඇතා පිට සිටිද්දීම ඔහු භාග්‍යවතුන් වහන්සේ දෙසට හිස ඇල කොට නැමුවා.වන්දනා කළා.පිටත් වුණා.භාග්‍යවතුන් වහන්සේට සිනහවක් පහළ වුණා.

"ස්වාමීනී, සිනහ පහළ වෙන්නට සිදු වූ දෙය කුමක්ද?"

"පින්වත් ආනන්ද, ඔය සන්තති අමාත්‍යා දෙස බලන්න.අද ඔය ආභරණ වලින්ම ඇමතිතුමාට තථාගතයන් සමීපයට එන්න සිද්ධ වෙනවා.ගාථා පද හතර ඇසෙද්දී මොහු අරහත්වයට පත්වෙනවා.අහසට පැන නැගී අදම පිරිනිවන් පානවා."

මිනිස්සු වටවෙලා ආනන්ද ස්වාමීන් වහන්සේ සමග මේ කරන කතාවට සවන් දුන්නා.මේ වචනය හැමතැනම පැතිරී ගියා.ධර්මයෙහි ඇද හොයන අයට මෙය හොඳ ආයුධයක් වුණා.

"ශ්‍රමණ ගෞතමයනේ වැඩ නම් යසයි! කටට එන එන දේ කියනවා.අර බේබද්දා ඔය විදිහටම ආභරණ සමග ආපසු ඇවිදින් බණ අහලා පිරිනිවන් පානවා කියන්නේ.අද නම් ඔය බොරු කීමට නැගී හිටින්න ඕන."

තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් මෙහෙම හිතුවා.

"සැබැවින්ම බුද්ධානුභාවය නම් මහා ආශ්චර්යයි! අද බුදුරජුන්ගේ හාස්කමත්, බෞද්ධ ශ්‍රාවක භාවයට පත්වන සන්තති අමාත්‍යාගේ හාස්කමත් අපට දැකගන්නට පුළුවනි."

ඉතින් ඇමතිතුමා නාන්න ගියා.හොඳට නෑවා.උයනට ආවා.ශාලාව මැද්දේ වාඩි වුණා.දැන් මෙයා කැවිලි ජාති කකා නැටුම් බලනවා.අර ලස්සන ස්ත්‍රිය සිංදු තාලෙට විදුලිය වගේ නටනවා.මේ ස්ත්‍රියට දවස් හතට තමයි වැටුප් ලැබෙන්නේ.හත්වෙනි දවසේ ඇමතිතුමාව වැඩිපුර පහදවන්න හිතලා වේගයෙන් නැටුවා.ඇයට හෘදයාබාධයක් වැළඳුනා.එතනම මැරිලා වැටුණා.සන්තති අමාත්‍යාට නිකම්ම නැගිට්ටුණා.

"අන්න....මගේ නළඟන වැටුණා...ඉක්මනට ඔසොවා ගනිල්ලා....ඔය මක් වුණාද...?"

"ඇමතිතුමනි.....මෑ....මෑ....මැරිලා.....!"

ඇමතිතුමාට ඉහළට ගත්තු හුස්ම පහළට ගන්නත් අමාරු වුණා.වෙරි හිඳුණා.හඬන්න පටන් ගත්තා.හැමදෙයක්ම එපා වුණා.'අයියෝ! මේ මොකක්ද වුණේ...' කියලා වැළපුණා.බුදුරජාණන් වහන්සේව මතක් වුණා.

"භාග්‍යවතුන් වහන්සේ හැර මේ දුකින් මාව ගලවන්න වෙන කෙනෙක් නෑ....මට මේවා වැඩක් නෑ...මාව භාග්‍යවතුන් වහන්සේ ළඟට එක්කරගෙන පලයන්..."

නිළියගේ කටයුතු අවසන් කොට මහත් කම්පාවෙන් යුතුව ඔහු සේනාව සමග භාග්‍යවතුන් වහ්න්සේ ළඟට ගියා.තමන්ගේ ශෝකය කියා සිටියා.

"පින්වත, ඔබ ඔය ස්ත්‍රිය ඔය අයුරින්ම මිය ගිය අනේක ආත්මවලදී හැඬූ කඳුළු සාගර ජලයට වඩා වැඩී" යැයි පැවසුවා.ඉන්පසුව උන්වහන්සේ මෙන්න මේ ගාථාව වදාළා.

"යන් පුබ්බේ තං විසෝසේහි - පච්ඡා තේ මාහු කිඤ්චනං
මජ්ඣේ චේ නෝ ගහෙස්සසි - උපසන්තෝ චරිස්සසි"

යමක් වූයේ නම් කලින් - වියළා දමන්න සහමුලින්
අනාගතයේ ඇතිවන - කෙලෙස් ඔබ නොගනීවා
මේ මොහොතේදී කිසිවක් - ඔබට පැටලී නැත්නම්
උපශාන්තව සැබැවින් - හැසිරෙනු හැකිය මැනවින්

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඔය ගාථා රත්නයයි ඒ මොහොතේදී බුදුරජාණන් වහන්සේ වදාළේ.හරිම ආශ්චර්යයි! ඔහු අරහත්වයට පත් වුණා.තවමත් රජ ඇඳුම් පිටින් ඉන්නේ.සන්තති රහතන් වහන්සේට තේරුණා තමන්ගේ ආයුෂ අවසන් වී ඇති බව.

"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා හට පිරිනිවන් පෑමට අවසර දෙන සේක්වා!"

"එසේ නම් ඔබ මෙවැනි වූ විස්මිත අරහත්වයක් ලබන්නට කළ පින ගැන අහසට ගිහින් කියන්න.එතකොට හැමෝටම පිනෙහි වටිනාකම ගැන තේරේවි."

ඉතින් සන්තති රහතන් වහන්සේ ආභරණ පිටින්ම අහසට පැන නැංගා.පළඟක් බැඳ වාඩි වුණා.

"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා පෙර කළ පින අසා වදාරණ සේක්වා! මෙයින් අනූ එක් කල්පයකට පෙර විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලෙ මං බන්ධුමතී නගරයේ ඉපදිලා හිටියේ.කාටවත් වරදක් නැතුව, හිංසාවක් පීඩාවක් නැතුව ජීවත් වෙන්න මං කල්පනා කළා.ඊට පස්සේ මං තෝරාගත්තා බණ කීම, මහජනයාට මං දහම් කරුණු කියලා දෙනවා.'පින්වත්නි, පින් කරන්න.සිල් රකින්න.දන් දෙන්න.ධර්මය අහන්න.තුනුරුවනට ගෞරව කරන්න....' ආදිය කියමින් ගියා.

ඒ විපස්සී බුදුරජුන්ගේ පියාණන් වන බන්ධුමතී මහ රජුට මං ගැන අසන්නට ලැබුණා.මාව කැඳෙව්වා.

"දරුව, තොප කුමක්ද ඔය කරමින් සිටින්නේ?"

"දේවයන් වහන්ස, මං තුනුරුවන්ගේ ගුණ කියමින් මහජනයාව පිනට යොමු කරනවා."

"කොහෙ ඉඳන්ද ඒක කරන්නේ?"

"දේවයන් වහන්ස, මං පයින් ඇවිදගෙන ගිහින් තමයි ඒක කරන්නේ..."

"දරුව, එහෙම යන්න ඕන නෑ.මල් මාලයක් පැළඳගෙන අශ්වයා පිටේ නැගලා ගිහින් කියන එකයි හොඳ" කියලා මල් දන් දුන්න.හීලෑ අශ්වයෙක් දුන්නා.

ඉතින් ස්වාමීනි, මං ඒ විදිහට දහම් ඝෝෂාව කරගෙන ගියා.ආයෙමත් රජතුමා මාව කැඳෙව්වා.කැඳවලා මෙහෙම කිව්වා.

"දරුව, අශ්වයා ගැළපෙන්නේ නෑ.මං අශ්ව කරත්තයක් දෙන්නම් කියලා සෛන්ධව අශ්වයන් හතර දෙනෙක් බැඳපු අශ්ව රථයක් දුන්නා.මං ඒකෙ නැගලා තමයි ඊට පස්සේ බණ කිව්වේ.ආයෙමත් මාව කැඳෙව්වා.කැඳවලා මට සැප සම්පත් දීලා මාලිගාවකුත් දීලා ඇතෙකුත් දුන්නා.මං සියලු ආභරණ වලින් සැරසිලා ඇතා පිට නැගිලා අවුරුදු අසූ හාරදහසක් මිනිසුන්ව පිනට යොමු කළා.

ස්වාමීනි, එතෙක් මෙතෙක් කාලයක මාගේ ශරීරයෙන් ගලන දහඩියෙන් දුගඳ හමන්නේ නෑ.සඳුන් සුවඳ හමනවා.මුඛය ගඳ ගසන්නේ නෑ.මහනෙල් මල් සුවඳයි.මේ තමයි මං කළ පින්කම."

ඉතින් ඒ සන්තති රහතන් වහන්සේ අහසේ වැඩසිට තේජෝ ධාතුවට සමවැදී පිරිනිවන් පෑවා.ශරීරය ගිනිගෙන දැවී සමන් මල් මිටක් වගේ ධාතූන් වහන්සේලා ඉතිරි වුණා.භාග්‍යවතුන් වහන්සේ සුදු වස්ත්‍රයක් බිම එළන්න කිව්වා.අන්න ඒ වස්ත්‍රයට ධාතූන් වහන්සේලා වැටුණා.මහජනයාට වන්දනා කොට පින් කරගැනීම උදෙසා ඒවා තැන්පත් කොට ස්ථූපයක් කෙරෙව්වා.

භික්ෂූන් වහන්සේලා අතර කථාවක් ඇති වුණා."මේ ඇත්තා අරහත්වයට පත් වුණේ ගිහි ඇඳුම් පිටින් නෙව.දැන් අපි මොහුට කුමක්ද කියන්නේ....? ශ්‍රමණයෙක් කියනවාද? බ්‍රාහ්මණයෙක් කියනවාද?"

බුදුරජාණන් වහන්සේට මෙය අසන්නට ලැබුණා.උන්වහන්සේ මෙසේ වදාළා.

"පින්වත් මහණෙනි, මාගේ ළයෙහි උපන් දරුවාට ශ්‍රමණයා කියන්ටත් වටී.බ්‍රාහ්මණයා කියන්ටත් වටී."

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළා.

142.14.

අලංකතෝ චේ'පි සමං වරෙය්‍ය - සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී
සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං - සෝ බ්‍රාහ්මණෝ සෝ සමණෝ ස භික්ඛු

සොඳුරු අභරණ වලින් සුසැදිව - සිටි නමුත් හැසිරෙයි ද දහමේ
කෙලෙස් සංසිඳුවාගෙන ඉඳුරන්ද දමනය කොට - තිරව දහමෙහි පිහිටා උතුම් බඹසර හැසිරුණ
හැම සතුන් වෙත මෙත පතුරුවා මුගුරු අතහැර - වසනා යමෙක් වෙයි නම්
හේ බ්‍රාහ්මණයෙක්මයි - ශ්‍රමණයෙක්මයි භික්ෂුවක්මයි

පින්වතුනේ, පින්වත් දරුවනේ, හරි පුදුමයි නේද? හරි දෙයක් කළොත් වරදින්නේ නෑ.යහපත උදාවෙනවාමයි.මේ ගෞතම බුදු සසුනේ පිහිට ලබන්න තියෙන්නෙත් ඒ වගේ අවංක සිතින් ධර්මයේ හැසිරිලයි.

අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 10 ( දණ්ඩ වර්ගය )
- පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ -



(Shared from Facebook

1 comment:

  1. සාධු සාධු සාධු ! නමෝ බුද්ධාය...

    ReplyDelete