Wednesday, July 25, 2012

එක්තරා ස්ත්‍රියකගේ කථා වස්තුව






දහවෙනි ගාථා රත්නය
එක්තරා ස්ත්‍රියකගේ කථා වස්තුව

"රහතුන්ට වනය හරි ලස්සනයි..!"

පින්වතුනේ, පින්වත් දරුවනේ, නිවන් අවබෝධ කරන ධර්මයේ හැසිරීම ලෙහෙසි වැඩක් නෙවෙයි.ඒ සඳහා බාධා ඇතිවෙන විදිහ කෙනෙකුට තේරුම් ගැනීම පවා ලෙහෙසි නෑ.බොහෝ විට ධර්මයේ හැසිරෙන්නට පරිසරයෙන් උදව්වක් නෑ.උදව් ලැබෙතොත් ලැබෙන්නේ හැසිරෙන ධර්මයෙන් ගිලිහෙන්නයි.බුද්ධ කාලයේ පවා බලාපොරොත්තු රහිත අවස්ථාවන්හීදී එවැනි අකරතැබ්බයන්ට මුහුණ දෙන්නට භික්ෂූන් වහන්සේලාට සිදු වී තිබෙනවා.නමුත් තමන් විසින් රැස් කරන ලද පින්වල මහිමයෙන් උන්වහන්සේලා ඒ අනතුරුවලින් ගැලවී නිවන කරා යන්නේ තොණ්ඩුවකට හසු නොවුණු මුවන් වැද්දාගෙන් ගැලවී පැන දුවන ආකාරයටයි.


එක්තරා තරුණයෙක් බණ අසන්නට සැවැත් නුවර ආවා.ධර්මය ඇසීමෙන් බලවත් චිත්තප්‍රසාදයක් ඇති වුණා.බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන මොහු පුදුම වුණා.විස්මයට පත් වුණා.ආර්ය සත්‍යාවබෝධය ඉලක්ක කොට ගෙන පැවිදි වීමට ලැබුනේ ඒ ශ්‍රද්ධාව නිසයි.

නිවනට සරිලන භික්ෂු ජීවිතයක් කෙමෙන් කෙමෙන් ගොඩ නගා ගත්තා.මේ භික්ෂුව ගොඩක් සතුටු වුණේ පිණ්ඩපාතයෙනුයි.වනවාසයටත් කැමතියි.බුදුරජාණන් වහන්සේ සෙවණේ සිටිමින් ඉන්ද්‍රීය සංවරය පුරුදු කළා.සිල් පද ආරක්ෂා කිරීම පුරුදු කළා.බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගෙන ඈත ප්‍රදේශයකට වැඩම කළා.

මේ භික්ෂුවට එක්තරා පාළු උද්‍යානයක් මුණ ගැහුණා.එහි කොනක ගරා වැටුණු කුටියක් තිබුණා.එය පිළිසකර කොට පදිංචි වුණා.උදේට පිඬු සිඟා වඩිනවා.ලැබෙන දේකින් සතුටු වෙනවා.අර පාළු උද්‍යානයට වඩිනවා.රුක් සෙවණේ ඉතා සතුටින් භාවනා කරනවා.

ඔය අතරේ එක්තරා පුරුෂයෙක් වෙසඟනකට පණිවුඩයක් යැව්වා.

"සොඳුරිය...මට නුඹ නැතුව බෑ...මට නුඹව දකින්න ඕන.එක දවසකට හරි නුඹ සමග ජීවත් වෙන්න ඕන.ඒ නිසා මං කොහොමහරි අසවල් දවසට අර පාළු උද්‍යානයට එනවා.ඔයා කොහොමහරි එතනට එන්න.මං එනවා...එනවාමයි..."

අර වෙසඟන එදා ලස්සනට හැඳපැළඳ පාළු උද්‍යානයට ආවා.ගහක් යට වාඩි වුණා.බලාගෙන හිටියා.ඔහු ආවෙ නෑ.එහාට මෙහාට සක්මන් කළා.බලාගෙන හිටියා.ඔහු ආවෙ නෑ.ඇය රාගයෙන් උමතු වුණා.ඇය වටපිට බැලුවා.පෙනෙන තෙක් මානයක කවුරුත් නෑ.තවත් වටපිට බැලුවා.එතකොට ටිකක් ඈතින් එක්තරා භික්ෂුවක් රුක් සෙවණේ භාවනා කරනවා දැක්කා.

"ෂා...! ලස්සන තරුණයෙක්...රුක් සෙවණට වාඩි වී දෑස පියාගෙන ලෝකයෙන් ඉවත් වෙන්න හදනවා...මෙයාට පිස්සුද...? මෙච්චර ලස්සන ලෝකෙක විනෝද වෙන්නෙ නැතුව මොකද මේ...? මේ තරුණ කාලෙ මොන බ්‍රහ්මචරියාවක්ද? අනේ හැබෑට...! එක එක්කෙනාගෙ සමයං.ලස්සනට සතුටු වෙන්න තියෙන ජීව්තේ නිකං සමයං නිසා රාස්සයන්ගේ විලක් බවට පත් කරගෙන.හොඳයි! ඔබේ බඹසරද දිනන්නේ.මගේ හැඩරුවද කියලා මං ඔබට පෙන්නන්නම්...."

ඇය එතනට කිට්ටු වුණා.උගුර පෑදුවා.'ලා...ලා...ලලා....' කියලා මිහිරි හඬින් ගීතයක් ගයන්න පටන් ගත්තා.ඒ මොහොතේ අර ස්වාමීන් වහන්සේ වැඩ සිටියේ විදර්ශනා භාවනාවක් කරමින්.උන්වහන්සේ ඇස් ඇරියා.ඇස් ඉදිරියේ රූපයක් තියෙනවා.ඇහැයි, රූපයයි, විඤ්ඤාණයයි එකතු වෙනවා.ස්පර්ශයක් ඇති වෙනවා.අනිත්‍ය වූ සිද්ධි දාමයක් සිදුවෙන හැටි බලාගෙන සිටියා.

වෙසඟන මෙහෙම කල්පනා කළා.'හරි! එයා ඇස් ඇරියා...ඇත්තෙන්ම ඔයා ලස්සනයි.විසි කරන්න ඔය කසාවත...' වෙසඟන හිතුවා.ඇය හැඩ කරමින් එහාටා මෙහාට සක්මන් කෙරුවා.කෙස් වරළ මුදා හැරියා.ආයෙමත් බැඳගත්තා.සළුපොට ලිහුවා.ආයෙමත් හැන්ඳා.අත් දෙක උඩට කොට වළලු සද්ද කළා.අත්පුඩි ගැහුවා.යටි පතුළ් පොළොවට ගසමින් පය බැඳි නූපුර සද්ද කළා.ඇයගේ හැඳිවත ලෙහුණා.කිසි වගක් නැතුව හිමිහිට ඔසවාගෙන යටැසින් බලමින් හිමින් හිමින් එය අඳිනවා.

අර භික්ෂුව තදින් සිහිය පිහිටුවා වීරිය ඇති කර ගත්තා.විදර්ශනාවේම සිහිය පිහිටුවා ගත්තා.කෙලෙස් තවන වීරිය ඇති වුණා.නමුත් උන්වහන්සේගේ මුළු සිරුරම කිලිපොලා ගියා.උන්වහන්සේට මෙහෙම හිතුණා.

"හරිම පුදුමයි! මුළු සිරුරම කිලිපොලා ගියා.හැබැයි මට රාගයක් ඇති වුණේ නෑ.මේ සිත විදර්ශනාවට නැඹුරු වෙලයි තියෙන්නෙ.කාමය කියන්නේ මඩ ගොඩක්! මේ මඩ වළේ වැටුණ කෙනෙක් කවරදාක නම් ගොඩ ඒවිද?"

බුදුරජාණන් වහන්සේ මෙය දිවැසින් දැක්කා.මුළු සිරුරම කිලිපොලා ගිහින් සිටින මේ අහිංසක භික්ෂුව නිකෙලෙස් වෙන්න වෙරවඩන ආකරය දැක්කා.උන්වහන්සේ ආලෝකයක් පතුරුවා මෙම ගාථාව වදාළා.

99.10.

රමණීයානි අරඤ්ඤානි - යත්ථ න රමතී ජනෝ
වීතරාගා රමිස්සන්ති - න තේ කාමගවේසිනෝ

අඳුරු සෙවනැලි ඇති - වනය සොඳුරුය අපට
කාම සැපයට ඇලුණු ජනයා - කැමති නැහැමයි එයට
වීතරාගී ශ්‍රමණයන් - සිටිති ඇලෙමින් වනයට
කම් සුවය නොසොයන ඔවුන් - කැමතිමයි ඒ වනයට

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළ විට අර භික්ෂූන් වහන්සේගේ ඇඟ කිලිපොලා යාම දුරු වුණා.ඉන්පසු උන්වහන්සේට පෙනුණේ නිසරු ඇට සැකිල්ලක් වැනි දෙයක් තමා ඉදිරියේ එහාට මෙහාට වැනි වැනී සිටින ආකාරයයි.උන්වහන්සේගේ සිත හොඳින් ධර්මයේ පිහිටියා.ඒ ධර්මය විසින් උන්වහන්සේව සියලු කෙලෙස්වලින් නිදහස් කරනු ලැබුවා.උන්වහන්සේ ඉර්ධිබල සම්පන්න රහතන් වහන්සේ නමක් බවට පත් වුණා.

"හරිම පුදුමයි! මට නම් අදහාගන්න බෑ...පිරිමියෙක් මේ විදිහට ඉන්නේ කොහොමද? මං මේ කරපු මායාවලින් කෙනෙක් පිස්සු වැටෙනවා නම්, මෙලහට පිස්සු හැදිලා ඉවරයි.එහෙත් මේ භික්ෂුව මා දිහා බලා සිටින්නේ ගහක් ගලක් දිහා බලා සිටිනවා වගේ.හරිම පුදුමයි! මේ ලෝකයට ඇලෙන්නේ නැත්තේ මොකද? මෙහෙම වෙන්න පුළුවන්ද? ඒකාන්තයෙන්ම මේ විස්මිත මනුෂ්‍යයෙක්!"

ඒ වෙසඟන බලා සිටිද්දීම අර භික්ෂුව දෑස පියා ගත්තා.සමාධිගත වුණා.භාවනා ඉරියව්වෙන්ම ටිකින් ටික අහසට ඉස්සුණා.ටික වෙලාවකින් නොපෙනී ගියා.බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පහළ වූ ඒ රහතන් වහන්සේ, උන්වහන්සේට වන්දනා කළා.

අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 7 ( අරහන්ත වර්ගය )
- පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ -

(Picked from Facebook

D.K. Kasun Sameera Dissanayake)

No comments:

Post a Comment