Wednesday, July 25, 2012

සෝණදණ්ඩ බ්‍රාහ්මණයාගේ බුදුගුණ වැණුම








එසේ වී නම් භවත්නි, ඒ භවත් ගෞතමයන් වහන්සේව බැහැදකින්නට යෑම අපට කොයිතරම් සුදුසුද යන වගවූත්, ඒ වගේම ඒ භවත් ගෞතමයන් වහන්සේ වැනි උතුමෙක් අපව දකින්ට පැමිණීම උන්වහන්සේගේ තත්වයට සුදුසු නැති වගටත් කියවෙන මගේ වචනයද අසනු මැනැව.

ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේද මව් පාර්ශවයෙනුත්, පිය පාර්ශවයෙනුත් යන දෙපාර්ශවයෙන්ම පිරිසිදු වූ සුජාත උපතක් ලද කෙනෙක්. සත්වෙනි මීමුතු පරම්පරාවල් දක්වාම පිරිසිදු කුල ප‍්‍රවේණියක් තියෙනවා. එනිසාම කුලපාරිශුද්ධිය මුල් කොට කිසිවෙකුගෙන් උපහාස ලබා නෑ. ගැරහුම් ලබා නෑ. ඉතින් භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ මව් පාර්ශවයෙනුත්, පිය පාර්ශවයෙනුත් යන දෙපාර්ශවයෙන්ම පිරිසිදු වූ සුජාත උපතක් ලද කෙනෙක් යන යම් කරුණක් ඇද්ද, සත්වෙනි මීමුතු පරම්පරාවල් දක්වාම පිරිසිදු කුල ප‍්‍රවේණියක් තියෙනවා යන යම් කරුණක් ඇද්ද, එනිසාම කුලපාරිශුද්ධිය මුල් කොට කිසිවෙකුගෙන් උපහාස ලබා නැති බවත්, ගැරහුම් ලබා නැති බවත් යන යම් කරුණක් ඇද්ද, අන්න ඒ කාරණය මත ඒ භවත් ගෞතමයන් වහන්සේ වැනි උතුමෙක් අපව දකින්නට පැමිණීම උන්වහන්සේගේ තත්වයට සුදුසු නැහැමයි. එනිසා ශ‍්‍රමණ භවත් ගෞමයන් වහන්සේව බැහැදකින්නට යෑම අපටමයි සුදුසු.
ඒ වගේම භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ මහත් ඤාති පිරිසක් අත්හැර දමා උතුම් පැවිදිබව ලැබූ කෙනෙක් නෙව ….(පෙ)….
ඒ වගේම භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ පොළොවට අයත් වූත්, පොළොවෙන් උඩ තිබෙන්නා වූත් බොහෝ රන්, රිදී ආදී වස්තුව අත්හැර දමා උතුම් පැවිදිබව ලැබූ කෙනෙක් නෙව. ….(පෙ)….
ඒ වගේම භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ ඉතා තරුණ වූ යෞවන කාලයේදීම මනා කළු කෙස් ඇති භද්‍ර වූ යොවුනේ වියෙහි සිටියදීම ජීවිතයෙහි ප‍්‍රථම වයසේදී ගිහිගෙයින් නික්ම අනගාරිකව උතුම් පැවිදිබව ලැබූ කෙනෙක් නෙව ….(පෙ)….
ඒ වගේම භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ තමන්ගේ රාජවංශික දෙමාපියන් අකැමැත්තෙන් කඳුළු වැකුණු මුහුණින් හඬද්දීම කෙස් රැවුල් බා කසාවත් පොරොවා ගෙන ගිහිගෙයින් නික්ම අනගාරිකව උතුම් පැවිදිබව ලැබූ කෙනෙක් නෙව. ….(පෙ)….
ඒ වගේම භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේද ඉතා රූපවත් කෙනෙක් නෙව. සොඳුරු පෙනුමක් ඇති කෙනෙක් නෙව. දුටුවන් පහදින කෙනෙක් නෙව. උතුම් වර්ණ සෞන්දර්යයෙන් යුතු කෙනෙක් නෙව. රන්වන් පැහැ ඇති කෙනෙක් නෙව. බ‍්‍රහ්මයාගේ බඳු ශරීරාලෝකය ඇති කෙනෙක් නෙව. දැකීමට පවා ඉඩකඩ අපහසුවෙන් ලැබිය යුතු කෙනෙක් නෙව. ….(පෙ)….
ඒ වගේම භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ ආර්ය වූ සිල් ඇති කෙනෙක් නෙව, කුසල සිල් ඇති කෙනෙක් නෙව. කුසල සීලයෙන් සමන්විත කෙනෙක් නෙව. ….(පෙ)….
ඒ වගේම භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේද මිහිරි වචන ඇති කෙනෙක් නෙව. මිහිරි ලෙස කරුණු විග‍්‍රහ කරන කෙනෙක් නෙව. ශිෂ්ඨසම්පන්න වචන ඇති කෙනෙක් නෙව. නොවිසුරුණු වචන ඇති කෙනෙක් නෙව. පැහැදිලි වචන ඇති කෙනෙක් නෙව. අරුත් මතු කොට කතා කරන කෙනෙක් නෙව. ….(පෙ)….
ඒ වගේම භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේද බොහෝ ජනයා හට ආචාර්ය ප‍්‍රාචාර්ය වූ කෙනෙක් නෙව. ….(පෙ)….
ඒ වගේම භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ කාමරාගය ක්ෂය කළ කෙනෙක් නෙව. චපලබව බැහැර කළ කෙනෙක් නෙව. ….(පෙ)….
ඒ වගේම භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ කර්මවාදී, ක‍්‍රියාවාදී උත්තමයෙක් නෙව. ශ්‍රේෂ්ඨ වූ දෙයම පෙරටු කොට ඇති කෙනෙක් නෙව. උතුම් බ‍්‍රාහ්මණ පිරිසටත් අවශේෂ ප‍්‍රජාවටත් නායකත්වය දරණ කෙනෙක් නෙව ….(පෙ)….
ඒ වගේම භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ සම්භේද නොවූ පිරිසිදු රාජවංශික කුල ප‍්‍රවේණි ඇති උසස් වංශයෙන් පැවිදි වූ කෙනෙක් නෙව ….(පෙ)….
ඒ වගේම භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ ආඪ්‍ය වූ මහාධන ඇති මහාභෝග ඇති කුලවත් වංශයෙන් පැවිදි වූ කෙනෙක් නෙව. ….(පෙ)….
ඒ වගේම භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ වෙත පිටරටවලින්ද පිට ජනපදවලින්ද ප‍්‍රශ්න විසඳා ගැනීමට බොහෝ පිරිස් පැමිණෙනවා නෙව. ….(පෙ)….
ඒ වගේම අනේක වූ දහස් සංඛ්‍යාත දෙවිවරුන් භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේව දිවිහිමියෙන් සරණ ගිහින් තිබෙනවා නෙව. ….(පෙ)….
ඒ වගේම භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ පිළිබඳව මේ ආකාර වූ කළ්‍යාණ කීර්ති ඝෝෂාවක් පැතිර ගිහින් තිබෙනවා නෙව. ”ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අරහත් වන සේක! සම්මාසම්බුද්ධ වන සේක! විජ්ජාචරණසම්පන්න වන සේක! සුගත වන සේක! ලෝකවිදූ වන සේක! අනුත්තර පුරිසදම්ම සාරථි වන සේක! සත්ථා දේවමනුස්සානං වන සේක! බුද්ධ වන සේක! භගවා වන සේක!” කියලා. ….(පෙ)….
ඒ වගේම භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ මහාපුරුෂ ලක්ෂණ තිස්දෙකකින් සමන්විත වූ කෙනෙක් නෙව ….(පෙ)….
ඒ වගේම භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ තමන් වෙත පැමිණෙන පිරිසට ඉතා සුහද ලෙස ‘එන්න ඔබේ පැමිණීම සාදරයෙන් පිළිගනිමු’ කියමින් පිළිගන්නා කෙනෙකි. මිහිරි වචන කතා කරන කෙනෙකි. පිළිසඳර කතාවෙහි ඉතා දක්ෂ කෙනෙකි. කවර කරුණකටවත් ඇහිබැම හකුළුවා නොබලන කෙනෙකි. ඕනෑම කෙනෙක් දෙස පි‍්‍රයශීලී ලෙස මුහුණ ඔසවා කෙළින් බලන කෙනෙකි. පැමිණි පිරිසට පළමුවෙන්ම කතාබස් කරන කෙනෙකි. ….(පෙ)….
ඒ වගේම භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසෙන් සත්කාර ලැබූ කෙනෙකි. ගෞරව ලැබූ කෙනෙකි. බුහුමන් ලැබූ කෙනෙකි. පිදුම් ලැබූ කෙනෙකි. යටහත් පැවැතුම් ලැබූ කෙනෙකි. ….(පෙ)….
ඒ වගේම භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ කෙරෙහි බොහෝ දෙවිවරුත්, බොහෝ මිනිසුනුත් අතිශයින්ම පැහැදීමෙන් යුක්තයි නෙව. ….(පෙ)….
ඒ වගේම භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ යම් ගමක වේවා, නියම්ගමක වේවා, වැඩසිටිනවා නම් ඒ ගමේවත්, නියම්ගමේවත් අමනුෂ්‍යයන් මිනිසුන් හට කිසි පීඩාවක් කරන්නේ නෑ. ….(පෙ)….
ඒ වගේම භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ මහා පිරිස් සහිතයි. විශාල පිරිස්වලට ආචාර්ය වශයෙන් සිටින්නේ. ඒ වගේම බොහෝ ආගමික නායකයන් අතරින් උන්වහන්සේ තමයි අග‍්‍ර වන්නේ ….(පෙ)….
භවත්නි, ඇතැම් ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන්ගේ කීර්තිරාවය තියෙන්නේ ඔවුන්ගේ යම් යම් ව‍්‍රත සමාදන් වීම් ආදී බාහිර දේ මුල් කරගෙනයි. නමුත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේගේ කීර්තිය පැතිරිලා තියෙන්නේ එවන් කරුණක් දෙකක් මුල් කරගෙන නොවේ. සැබැවින්ම අනුත්තර වූ (අවබෝධ ඤාණය නම් වූ විද්‍යාවෙනුත් ඊට අනුකූල හැසිරීම නම් වූ චරණයෙනුත් යන) විජ්ජාචරණ සම්පන්න ගුණයෙන්මයි ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේගේ කීර්තිරාවය පැතිරී තියෙන්නේ. ….(පෙ)….
ඒ වගේම මගධේශ්වර සේනිය බිම්බිසාර නිරිඳාණන් සිය දරුවනුත් හා එක්ව, බිරින්දෑවරුන් හා එක්ව, පිරිස් හා එක්ව, ඇමැතිවරුන් හා එක්ව භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේව දිවිහිමියෙන් සරණ ගිහිල්ලයි ඉන්නේ. ….(පෙ)….
ඒ වගේම පසේනදී කෝසල නිරිඳාණන් සිය දරුවනුත් හා එක්ව, බිරින්දෑවරුන් හා එක්ව, පිරිස් හා එක්ව, ඇමැතිවරුන් හා එක්ව භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේව දිවිහිමියෙන් සරණ ගිහිල්ලයි ඉන්නේ. ….(පෙ)….
ඒ වගේම පොක්ඛරසාතී බ‍්‍රාහ්මණතුමා සිය දරුවනුත් හා එක්ව, බිරින්දෑවරුන් හා එක්ව, පිරිස් හා එක්ව, ඇමැතිවරුන් හා එක්ව භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේව දිවිහිමියෙන් සරණ ගිහිල්ලයි ඉන්නේ. ….(පෙ)….
ඒ වගේම භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ මගධේශ්වර සේනිය බිම්බිසාර නිරිඳාණන්ගෙන් සත්කාර ලැබූ කෙනෙකි. ගෞරව ලැබූ කෙනෙකි. බුහුමන් ලැබූ කෙනෙකි. පිදුම් ලැබූ කෙනෙකි. යටහත් පැවැතුම් ලැබූ කෙනෙකි. ….(පෙ)….
ඒ වගේම භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ පසේනදී කෝසල නිරිඳාණන්ගෙන් සත්කාර ලැබූ කෙනෙකි. ගෞරව ලැබූ කෙනෙකි. බුහුමන් ලැබූ කෙනෙකි. පිදුම් ලැබූ කෙනෙකි. යටහත් පැවැතුම් ලැබූ කෙනෙකි. ….(පෙ)….
ඒ වගේම භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ පොක්ඛරසාතී බ‍්‍රාහ්මණතුමාගෙන් සත්කාර ලැබූ කෙනෙකි. ගෞරව ලැබූ කෙනෙකි. බුහුමන් ලැබූ කෙනෙකි. පිදුම් ලැබූ කෙනෙකි. යටහත් පැවැතුම් ලැබූ කෙනෙකි …. (පෙ) ….
ඒ භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ චම්පා නුවර ගග්ගරා පොකුණ අසබඩ වැඩසිටිනවා. ඉතින් යම්කිසි ශ‍්‍රමණවරුන් වේවා බ‍්‍රාහ්මණවරුන් වේවා අපගේ ගම් කෙතට සම්ප‍්‍රාප්ත වෙනවා නම් ඔවුන් අපට ආගන්තුක පිරිසකි. අප විසින් ඒ ආගන්තුක පිරිසට සත්කාර කළ යුතුයි. ගරු කළ යුතුයි. පිදිය යුතුයි. යටහත් පැවතුම් දැක්විය යුතුයි. යම් හෙයකින් ශ‍්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ චම්පාවට වැඩම කරලා, චම්පාවෙහි ගග්ගරා පොකුණ අසබඩ වැඩසිටිනවාද, ඒ ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ අපගේ ආගන්තුකයෙක්මයි. ඉතින් අප විසින් ආගන්තුක වූ උන්වහන්සේට සත්කාර කළ යුතුයි. ගරු කළ යුතුයි. පිදිය යුතුයි. යටහත් පැවතුම් දැක්විය යුතුයි. ඔන්න ඔය කාරණයේදීත් ඒ භවත් ගෞතමයන් වහන්සේ වැනි උතුමෙක් අපව දකින්නට පැමිණීම උන්වහන්සේගේ තත්වයට සුදුසු නැහැමයි. එනිසා ශ‍්‍රමණ භවත් ගෞමයන් වහන්සේව බැහැදකින්නට යෑම අපටමයි සුදුසු.
භවත්නි, ඒ භවත් ගෞතමයන් වහන්සේගේ ගුණය පිළිබඳව මා දන්නේ ඔච්චරයි. නමුත් ඒ භවත් ගෞතමයන් වහන්සේ නම්, ගුණ ඔච්චරක් පමණක් තිබෙන උත්තමයෙක් නොවෙයි. ඒ භවත් ගෞතමයන් වහන්සේ ප‍්‍රමාණ කළ නොහැකි වූ ගුණ සම්පත්වලින් යුක්තයි.
සෝණදණ්ඩ සූත්‍රය (දී.නි.1)

(Picked from Facebook
http://amadamvila.net/2012_07_22/ )


No comments:

Post a Comment