Saturday, July 21, 2012

උපෝසථ සිල් ගත් ස්ත්‍රීන්ගේ කථා වස්තුව


7 ගාථා රත්නය
උපෝසථ සිල් ගත් ස්ත්‍රීන්ගේ කථා වස්තුව

"චතුරාර්ය සත්‍ය අවබෝධය ඉලක්ක කර ගන්න"

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඒ කාලේ සිල් සමාදන් වුණ බොහෝ අයට යම් යම් අරමුණු තිබිලා තියෙනවා.ඒ කියන්නේ, යාලුවෝ අඬගහන නිසා යනවා නොවෙයි.තමන් යම්කිසි යහපතක් හොයාගෙනයි යන්නේ.නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධයට ඉලක්ක කරගෙන හිටියේ නෑ.ඒ බව මේ කතාවෙන් ඔප්පු වෙනවා.


විශාඛා මහෝපාසිකාව තමයි සැවැත් නුවර ප්‍රධාන දායිකාව.උපෝසථ දිනකය පන්සියයක් පමණ ස්ත්‍රීන් උපෝසථ සිල් සමාදන් වුණා.එදා ඒ සිල් ගත් ස්ත්‍රීන් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කිරීමට දෙව්රම් වෙහෙරට පැමිණියා. විශාඛාවට හරි සතුටුයි.විශාඛා පළමුවෙන්ම ගිහින් ඔවුන් සමග කතාබස් කරන්න පටන් ගත්තා.

"බොහොම අගෙයි! මේ අත්තම්මා එතකොට උපෝසථ සිල් සමාදන් වුණා නේද? ඔය අම්මගේ සිල් ගැනීමේ අරමුණ මොකක්ද?"

"අනේ විශාඛා දුවේ, මං කල්පනා කළේ මේ මිනිස් ලෝකෙ නම් මට වැඩක් නෑ.දෙවියන් අතර උපදින්න පුළුවන් නෙව සිල් සමාදන් වුණොත්.ඒ නිසා මං මේ උපෝසථය සමාදන් වුණේ."

එතකොට විශාඛා ඒ ගැන සතුටු වෙලා තව කෙනෙක් ළඟට ගියා.

"හානේ...නංගි...ඔයත් ආවා නේ...හරි හොඳයි.... ඔයාටත් මේ සිල් සමාදන් වීමේහි විශේෂ කාරණයක් තියෙනවද?"

“ඔව් අක්කා....අපි ළඟදිනෙ බැන්දේ...මට හරි ආසයි පින්වන්ත දරු සම්පතක් ලබාගන්න.ඒ කියන්නෙ පුතෙක්.ඉතින් ඒ වෙනුවෙන් තමයි මං මේ සිල් ගන්නේ...."

"එතකොට චූටි නංගියේ.... ඔයා මොකද සිල් ගන්නේ....?"

"විශාඛා මෑණියනි, මං කැමතියි සත්පුරුෂ ස්වාමියෙක් ලබා ගන්න.එනිසයි මං සිල් ගන්නේ..."

"එතකොට මේ නංගි...සිල් ගන්නේ මොකද?"

"අනේ විශාඛා....මට ගෙදර ඉන්න බැහැ.අපේ ස්වාමියාට බිරින්ඳෑවරුන් කීප දෙනෙක් ඉන්නවා.අපි ඔක්කොම එකටනෙ ඉන්නේ....මට අල්ලන්නෑ...අනික මට කේන්ති යනවා.....නමුත් පොහොය දවසට සිල් ගත්තාම මගේ හිතට හරි සැපයක් දැනෙනවා...ඒ නිසයි මං එන්නේ..."

මේ විස්තර අහගෙන යද්දී විශාඛාවට මහත් අනුකම්පාවක් ඇති වුණා.චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ අදහසක් නෑ.සෝතාපන්න වෙන්න අදහසක් නෑ.

ඉතින් විශාඛා ඒ සියලු දෙනාව බුදුරජාණන් වහන්සේ වෙත කැඳවාගෙන ගියා.ඔවුන් සිල්ගත් අරමුණු පැහැදිලි කළා.එතකොට බුදුරජාණන් වහන්සේ මෙය වදාළා.

"පින්වත් විශාඛා, ඕක තමයි සසරේ හැටි.ගොපල්ලෙක් කෙවිටක් අරගෙන ගවයන්ව දක්කනවා වගේ මේ උපන් සත්වයාව ජරා මරණවලට තමයි දක්කගෙන යන්නේ.වෙන මොකවත් නෑ.සසරේම යනවා...ආර්ය සත්‍යය පසක් කරගන්නේ ප්‍රඥාවන්තයෙක් නෙව."

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මෙම ගාථා රත්නය වදාළා.

135.7.

යථා දණ්ඩේන ගෝපාලෝ - ගාවෝ පාජේති ගෝචරං
ඒවං ජරා ච මච්චු ච - ආයුං පාජෙන්ති පාණිනං

පහර දෙයි කෙවිටෙන් ගොපල්ලා - තණ බිමට ගවයා යවන්නට
ජරා මරණ ද එලෙස බැටදෙයි - සතුන්ගේ ආයුෂ ගෙවන්නට

පින්වතුනේ, පින්වත් දරුවනේ, එක එක අරමුණුවල අප ජීවත් වෙද්දී දන්නෙම නැතුව වයසට යනවා.දන්නෙම නැතුව මැරිලා යනවා.ආයෙමත් උපදිනවා.අවසන් නොවන සසර ගමන තුළ කවදාවත් ස්ථිර විසඳුමක් නැහැ.බුදුරජුන්ගේ ධර්මය තුළින් අපට ජීවිතය අවබෝධ කර ගන්නට හැකි වුණොත් නම් එදාට තමයි ස්ථිර විසඳුම ලැබෙන්නේ.

අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 10 ( දණ්ඩ වර්ගය )
- පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ -


(Shared from Facebook

No comments:

Post a Comment