Thursday, August 30, 2012

:::කට්ඨහාර සූත‍්‍රය:::



:::කට්ඨහාර සූත‍්‍රය:::

...දර ගෙන යන තරුණයින්ට වදාළ දෙසුම...

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කොසොල් ජනපදයේ එක්තරා වන ලැහැබකය.

එදා භාරද්වාජ ගෝත‍්‍රයට අයත් එක්තරා බ‍්‍රාහ්මණයෙකුගේ ශිෂ්‍යයන් වූ
බොහෝ තරුණ පිරිසක් දර ගෙන යන්නට ඒ වන ලැහැබට ඇතුළු වුනා.

ඇතුල් වුන ඒ තරුණයින්ට ඒ වන ලැහැබේ උඩු කය සෘජු කරගෙන,
පළඟක් බැඳගෙන වාඩිවෙලා භාවනා කරමින් ඉන්න භාග්‍යවතුන් වහන්සේව දකින්න ලැබුනා.

දැකලා,
ඔවුන් භාරද්වාජ ගෝත‍්‍ර බ‍්‍රාහ්මණයා ළඟට ගියා.
ගිහින් භාරද්වාජ ගෝත‍්‍ර බ‍්‍රාහ්මණයාට මෙහෙම කිව්වා.

”භවතාණනි, දන්නවාද වැඩක්?
අන්න අසවල් වන ලැහැබෙ උඩු කය සෘජු කරගෙන පළඟක් බැඳගෙන වාඩිවෙලා,
භාවනා කරමින් ඉන්න ශ‍්‍රමණයෙක් ඉන්නවා.”

එතකොට භාරද්වාජ ගෝත‍්‍ර බ‍්‍රාහ්මණයා ඒ තරුණ පිරිසත් සමඟ අර වන
ලැහැබට ගියා.

ගිහිල්ලා උඩු කය සෘජු කරගෙන,
පළඟක් බැඳගෙන,
භාවනාවෙන් වැඩඉන්න භාග්‍යවතුන් වහන්සේව දැකගත්තා.

දැකලා, භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා.
ගිහින් භාග්‍යවතුන් වහන්සේට ගාථාවලින් පැවසුවා.

”පින්වත් භික්‍ෂුව,
මේ වනය හරි ගාම්භීරයි.
බියජනකයි. පාළුයි.
ජනයා ගෙන් තොරයි.
එබඳු වූ මේ වනාන්තරයට ඇවිදින්,
කිසි තැතිගැනීමක් නැතුව,ස්ථිරව පිහිටලා,
ලස්සන රූපයක් ඇති ඔබ ඇත්තෙන්ම හරිම සුන්දර විදිහටයි භාවනා කරන්නෙ.

යම් තැනක මිහිරි ගීත නැද්ද,
යම් තැනක කර්ණ රසායන වාදන නැද්ද,
එබඳු වනයකට ඇවිදින්,
හුදෙකලාව, වනය ඇසුරු කරන මොහු මුනිවරයෙකි.

ඔය විදිහට තනි පංගලමේ ප‍්‍රීතිමත් සිතින් වනයේ ඉන්නවා දකින කොට,
මේක මට මහා පුදුමයක් වගෙයි.

”මට හිතෙන්නෙ ඔය භවතාණන් ලෝකාධිපති මහාබ‍්‍රහ්මයා සමඟ
එකතු වෙන්න කැමති වෙලා,
අනුත්තර වූ බඹලොව පතනවා වෙන්න ඇති.

ඇත්තෙන්ම මේ භවතා ජනයාගෙන් තොර මේ වනාන්තර ඇසුරු කරන්නේ ඇයි?
බ‍්‍රහ්ම ලෝකෙ උපදින්න හිතාගෙන නේද මේ වනයේ තපස් රකින්නේ?”

(භාග්‍යවතුන් වහන්සේ) :

”නොයෙක් ස්වභාවයෙන් යුතු ලෝකයේ,
හැමතිස්සෙම පවතින්නෙ එක්කො ආශාවක්.
එක්කො යම්කිසි සැකයක්.
අවිද්‍යාව මුල් වෙලා ඒවා හැදෙනවා.
තණ්හාවෙන් වැඩෙනවා.

මං ඒ හැම දෙයක්ම මුලින්ම උදුරලා
දැම්මා,
ඉක්මවා ගියා.

පින්වත් බ‍්‍රාහ්මණය,
ඒ මම සැක රහිත කෙනෙක්.

තෘෂ්ණා රහිත කෙනෙක්.
අරමුණුවලට නොබැසගන්න කෙනෙක්.

හැම දෙයක් ගැනම පිරිසිදු දැක්මක් ඇති කෙනෙක්.
මං අනුත්තර වූ සම්බෝධියට පත්වෙච්ච කෙනෙක්.

පිරිසිදු බවට පත්වෙලා,
දහම තුළ විශාරද වෙලා තමයි මං මේ රහසේ භාවනා කරන්නෙ.”

මෙසේ වදාළ විට,
භාරද්වාජ ගෝත‍්‍ර බ‍්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

භවත් ගෞතමයන් වහන්ස,
ඉතා මනහරයි! ස්වාමීනී, ඉතා මනහරයි!

ස්වාමීනි,යටිකුරු වෙච්ච දෙයක් උඩුකුරු කළා වගෙයි.
වැහිලා තිබිච්ච දෙයක් ඇරල පෙන්නුවා වගෙයි.
මං මුළා වූ කෙනෙකුට හරි මඟ කියා දුන්නා වගේ.
ඇස් ඇති උදවියට රූප දකින්නට අන්ධකාරයේ තෙල් පහන් දැරුවා වගේ.

ඒ විදිහටම භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් ශ‍්‍රී සද්ධර්මය වදාළා.

ස්වාමීනි,
මම භාග්‍යවතුන් වහන්සේවත්, ශ‍්‍රී සද්ධර්මයත්, භික්‍ෂුසංඝයාත් සරණ
යනවා.

ස්වාමීනි,
මම අද පටන් දිවි තිබෙන තුරාවටම තෙරුවන් සරණ ගිය
උපාසකයෙක් හැටියට පිළිගන්නා සේක්වා!”

සාදු! සාදු!! සාදු!!!

:::සංයුත්ත නිකාය - 1 (සගාථ වර්ගය):::

..සිංහළ පරිවර්තනය පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ..
 
(Picked from Facebook

No comments:

Post a Comment