Wednesday, August 15, 2012

:::කස්සප සූත‍්‍රය:::




:::කස්සප සූත‍්‍රය:::

...මහාකස්සප තෙරුන් අරභයා වදාළ උදානය...

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි.
ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ
වැඩසිටියේ රජගහ නුවර ලේනුන්ගේ අභය භූමිය වූ වේළුවනාරාමයේ.
ඒ දවස්වල ආයුෂ්මත් මහාකස්සප තෙරුන් වහන්සේ පිප්ඵලී ගුහාවේ වැඩසිටියේ.

උන්වහන්සේ ගිලන් වෙලා කායික දුකට පත්වෙලා, ගොඩක් අසනීපයෙනුයි
වැඩසිටියේ. ටික දවසකට පස්සේ ආයුෂ්මත් මහාකස්සප තෙරුන් වහන්සේගේ
ඒ අසනීපය සුව වුනා. අසනීපය සුවපත් වුන ආයුෂ්මත් මහාකස්සප තෙරුන්
වහන්සේට මේ විදිහට හිතුනා.

‘මං දැන් රජගහ නුවරට පිණ්ඩපාතෙ වඩිනවා නම් හොඳයි’ කියලා.

ඒ මොහොතේදී දෙවිවරු පන්සියයක් විතර ආයුෂ්මත් මහාකස්සප තෙරුන්
වහන්සේට පිණ්ඩපාත දානය පිළිගන්වන්නට ලහි ලහියේ සූදානම් වුනා.

එතකොට ආයුෂ්මත් මහාකස්සප තෙරුන් වහන්සේ පන්සියයක් පමණ
වූ ඒ දෙවිවරුන් ප‍්‍රතික්ෂේප කරලා,

එදා උදේ වරුවේ සිවුරු පොරවගෙන,
පාත‍්‍ර සිවුරු අරගෙන රජගහ නුවර ඉතාම දිළිඳු දුගී දුප්පත් මිනිසුන් සිටින
රෙදි වියන්නන්ගේ වීදියට පිණ්ඩපාතේ වැඩියා.

එවේලෙහි භාග්‍යවතුන් වහන්සේට රජගහ නුවර ඉතාම දිළිඳු දුගී දුප්පත්
මිනිසුන් සිටින රෙදි වියන්නන්ගේ වීදියේ පිණ්ඩපාතේ වඩින ආයුෂ්මත් මහා
කසස්පයන් වහන්සේව (දිවැසින්) දැකගන්නට ලැබුනා. එකරුණ දැනගත්
භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ මේ උදානය වදාළා.

”ඒ ක්ෂීණාශ‍්‍රවයන් වහන්සේ බාහිර කෙනෙක්ව පෝෂණය කරන්නේ නෑ.
උන්වහන්සේගේ ගුණ කවුරුත් දන්නවා.
ඉන්ද්‍රිය දමනයෙන් යුක්තයි.
ඒ අමා නිවන නම් වූ හරවත් බව තුළ පිහිටලයි ඉන්නේ.
ආශ‍්‍රව නැති කරලයි ඉන්නේ.
සියලූ කෙලෙස් දොස් දුරුකරලයි ඉන්නේ.
අන්න ඒ අරහත් භික්ෂුවටයි මම බ‍්‍රාහ්මණයා කියන්නේ.”

සාදු! සාදු!! සාදු!!!

:::ඛුද්දක නිකාය - 1 (උදාන පාළි - 1):::


(Picked from Facebook

No comments:

Post a Comment