Thursday, August 30, 2012

:::මහාලී සත්තවතපද සූත‍්‍රය:::




:::මහාලී සත්තවතපද සූත‍්‍රය:::

...උතුම් ව‍්‍රත හත ගැන මහාලී ලිච්ඡුවියාට වදාළ දෙසුම...

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි.
ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ විශාලා මහනුවර මහාවනයේ කූටාගාර ශාලාවේ.

එදා මහාලි කියන ලිච්ඡුවි වංශිකයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා.
ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා, පැත්තකින් වාඩිවුනා.

පැත්තකින් වාඩිවුන මහාලි ලිච්ඡුවි වංශිකයා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.

”ස්වාමීනි,
ඔබවහන්සේ ශක‍්‍ර දෙවියන්ව දැකලා තියෙනවාද?”

”ඔව්! පින්වත් මහාලි.
මං ශක‍්‍ර දෙවියන්ව දැකලා තියෙනවා.”

”ස්වාමීනි,
එහෙනම් ඔය පුද්ගලයා ශක‍්‍රයා වගේ වෙන කෙනෙක් වෙන්න ඇති.

ස්වාමීනි,
ශක‍්‍ර දෙවියන් දකින එක අමාරු දෙයක් නේද?”

”පින්වත් මහාලි,
මම ශක‍්‍ර දෙවියන්වත් දන්නවා.
ශක‍්‍රයා බවට පත්වෙන්න ඕන කරන දේවලූත් දන්නවා.

යම් දෙයක් සමාදන් වුනාම ශක‍්‍රයාට ශක‍්‍ර පදවි ලැබෙනවා නම්,
ඒ දේ ගැනත් දන්නවා.

පින්වත් මහාලි,
ඔය ශක‍්‍ර දෙවියන් ඉස්සර මනුස්ස ලෝකෙ ඉන්නකොට
ඔහුගේ නම ‘මඝ’.

ඒ නිසයි ශක‍්‍ර දෙවියන්ට ‘මඝවා’ කියන්නෙ.

පින්වත් මහාලි,
ඔය ශක‍්‍ර දෙවියන් ඉස්සර මනුස්ස ජීවිතේ ගතකරන කොට හැම
තැනදීම මුළින්ම දන් දෙන්නෙ ඔහු තමයි.

ඒ නිසයි, ඔහුට ‘පුරින්දද’ කියන්නෙ.

පින්වත් මහාලි,
ඔය ශක‍්‍ර දෙවියන් ඉස්සර මනුස්ස ජීවිතේ ගත කරන කොට,
පිළිවෙළකට සකස් කරලයි දන් දුන්නෙ.

ඒ නිසයි ඔහුට ‘ශක‍්‍රයා’ කියන්නෙ.

පින්වත් මහාලි,
ඔය ශක‍්‍ර දෙවියන් ඉස්සර මනුස්ස ජීවිතේ ගතකරන කොට
වාසස්ථාන දන් දුන්නා.

ඒ නිසයි ඔහුට ‘වාසව’ කියල කියන්නෙ.

පින්වත් මහාලි,
ශක‍්‍ර දෙවියන්ට එක මොහොතකින් කරුණු දාහක් ගැන හිතන්න පුළුවන්.

ඒ නිසයි ‘සහස්ස නෙත්ත’ කියන්නෙ.

පින්වත් මහාලි,
ශක‍්‍ර දෙවියන්ට බිරිඳ හැටියට ඉන්නෙ ‘සුජා’ කියන අසුර කන්‍යාව.

ඒ නිසයි ‘සුජම්පති’ කියන්නෙ.

පින්වත් මහාලි,
ඔය ශක‍්‍ර දෙවියන් තමයි තව්තිසා දෙවියන් අතර
සැපසම්පත් වලිනුත්, අධිපති භවයෙනුත් යුක්තව රජ කරන්නෙ.

ඒ නිසයි ඔහුට ‘දේවානමින්ද’ කියන්නෙ.

පින්වත් මහාලි,
ශක‍්‍ර දෙවියන් ඉස්සර මනුස්ස
ජීවිතේ ගෙවන කොට උතුම් ව‍්‍රත හතක් සමාදන් වෙලා හිටියා.

ඒ ව‍්‍රත සමාදන් වෙලා හිටපු නිසයි ශක‍්‍ර දෙවියන්ට ශක‍්‍ර පදවිය ලැබුනේ.

මොනවද ඒ උතුම් ව‍්‍රත හත?

මං දිවි තිබෙන තුරාවට මව්පියන්ට සළකන කෙනෙක් වෙනවා.
මං දිවි තිබෙන තුරාවට මිහිරි වචන කතාකරන කෙනෙක් වෙනවා.
මං දිවි තිබෙන තුරාවට කේළාම් නොකියන කෙනෙක් වෙනවා.
මං දිවි තිබෙන තුරාවට ගිහි ගෙදර වාසය කරන්නෙ මසුරුමල දුරුකරපු සිතින්.
දන් දෙන්න හිතාගෙනම අත්හරින කෙනෙක් වෙනවා. දන් දෙන්න හිතාගෙනම
දෑත් සෝදාගත්තු කෙනෙක් වෙනවා. දන් දීමටම කැමති කෙනෙක් වෙනවා.
අනුන් විසින් යමක් ඉල්ලා ගෙන තමන් ළඟට එනවාට කැමති කෙනෙක්
වෙනවා.
මං දිවි තිබෙන තුරාවට සත්‍ය වචන කතාකරන කෙනෙක් වෙනවා.
මං දිවි තිබෙන තුරාවට ක්‍රෝධ නැතුව ඉන්නවා.
මං තුළ ක්‍රෝධයක් ඇතිවුනොත් ඉක්මනින්ම ඒක දුරුකරල දානවා.

පින්වත් මහාලි,
ශක‍්‍ර දෙවියන් ඉස්සර මනුස්ස ජීවිතය ගත කරද්දී සමාදන් වෙලා හිටියේ ඔන්න ඔය ව‍්‍රත හතයි.
ඔය ව‍්‍රත හත සමාදන් වෙලා හිටපු නිසා තමයි ශක‍්‍ර දෙවියන්ට ශක‍්‍ර පදවිය ලැබුනේ.

(ගාථාවකි)
”මව්පියන්ට සළකනවා නම්,
කුළ දෙටුවන් පුදනවා නම්,
මිහිරි වූ වචන,ප‍්‍රිය වූ වචන කියනවා නම්,
කේළාම් කියන්නෙ නැත්නම්, මසුරුමල දුරු කරනව නම්,
සත්‍ය වචන කියනවා නම්, ක්‍රෝධය පාලනය කරනවා නම්,
ඔහුට තමයි ‘සත්පුරුෂයා’ කියලා කියන්නෙ.”

සාදු! සාදු!! සාදු!!!

:::සංයුත්ත නිකාය - 1 (සගාථ වර්ගය):::

..සිංහළ පරිවර්තනය පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ..

(Picked from Facebook

No comments:

Post a Comment