Wednesday, August 15, 2012

:::ජීවිකා සූත‍්‍රය:::




:::ජීවිකා සූත‍්‍රය:::

...ජීවත් වීම ගැන වදාළ දෙසුම...

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ.
අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ.
මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

”පින්වත් මහණෙනි,
ජීවත් වීම් අතරින් මේ පිඬු සිඟා ජීවත් වීම කියන්නේ ලාමක දෙයක්.

පින්වත් මහණෙනි.
‘පාත‍්‍රයක් ගත් අත් ඇතිව, පිඬු සිඟාගෙන ජීවත් වෙයන්’
කියලා මේ ලෝකයේ ශාප කරන්නත් කියනවා.
එහෙම වුනත්

පින්වත් මහණෙනි,
මේ පිඬු සිඟා යෑමේ වටිනා අර්ථයක් තියෙනවා.
අන්න ඒ අර්ථයට වසඟවෙච්ච භික්ෂූන් ඉන්නවා.

ඒ භික්ෂූන් පිඬු පිණිස හැසිරෙන්නේ රජ්ජුරුවෝ එළවපු නිසා නොවෙයි.
හොරු විසින් නෙරපූ නිසා නොවෙයි.
ණයක් ගෙවාගන්න බැරුව නොවෙයි.
භයක් නිසා නොවෙයි.
ඒකෙන් ජීවත් වීමේ උපායක් වශයෙන් නොවෙයි.

ඇත්තෙන්ම අපි ජාති, ජරා, මරණවලට වැටිලයි ඉන්නේ.
ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස කියන දුක්වලින් අවුල් වෙලයි ඉන්නේ.
දුකින්ම පෙළෙමින් ඉන්නේ.
ඒ නිසා ඇත්තෙන්ම අපි
මේ මුළු මහත් දුක් ගොඩම කෙළවර කරලා දාන්න ඕන’
කියන මේ

දුකින් නිදහස් වීමේ අර්ථය පිණිස විතරමයි පිණ්ඩපාතෙන් යැපෙන්නේ.

පින්වත් මහණෙනි,
මේ විදිහට පැවිදි වෙච්ච භික්ෂුවක් වුනත්

කාමයන් ගැන දැඩි ලෝභකමෙන් යුක්ත නම්,
ඒවා කෙරෙහි දැඩි ඇල්මක් තියෙනවා නම්,
තරහ සිතිනුත් ඉන්නවා නම්,
දූෂිත වෙච්ච අදහස්වලින් ඉන්නවා නම්,
සිහි මුලා වෙලා ඉන්නවා නම්,
අවබෝධයකින් තොරව ඉන්නවා නම්,
සමාහිත සිතක් නැතිනම්,
බිරාන්ත වෙච්ච සිතින් ඉන්නවා නම්,
ඉන්ද්‍රියන් අසංවර නම්,

පින්වත් මහණෙනි,
ඒක හරියට මෙන්න මේ වගෙයි.

දෙපැත්තෙන්ම ඇවිලූණු සොහොන් පෙණෙල්ලක් තියෙනවා.
ඒකෙ මැද අපිරිසිදු වසුරු ගෑවිලයි තියෙන්නේ.
ඒ සොහොන් පෙණෙල්ල ගමේ මිනිස්සුන්ට ගිනි අවුලවා ගන්න ප‍්‍රයෝජන වෙන්නෙත් නෑ. වනාන්තරයේ ගස් ගණයට අයිති වෙන්නෙත් නෑ.

පින්වත් මහණෙනි,
මේ පුද්ගලයා මෙන්න මේ උපමාවට සමානයි කියලයි මම කියන්නේ.
ඔහු ගිහි ජීවිතයෙනුත් පිරිහුනු කෙනෙක්.
මහණකමේ ප‍්‍රයෝජනයක් සම්පූර්ණ නොකර ගත් කෙනෙක්.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත්
පවසන්න පුළුවනි.

”ගිහි භෝග සම්පත් වලිනුත් පිරිහුනු කෙනෙක්.
ශ‍්‍රමණ ඵලය ඉෂ්ට කරගන්නත් බැරි කෙනෙක්.
ගුණධර්මවලින් පිරිහී ගිය ඔහු විනාශ වෙලා
යන්නේ හරියට සොහොන් පෙණෙල්ලක් වගෙයි.
බෙල්ලෙ කසාවතක් දාගෙන හිටියට පාපී ස්වභාවයෙන් යුක්ත,
කිසි සංයමක් නැති අය බොහෝම ඉන්නවා.
ඒ පාපී අය තමන් කළ පව් නිසාම නිරයේ උපදිනවා.

දුස්සීලව ඉඳගෙන,
අසංවරව ඉඳගෙන මිනිසුන් දෙන දන් පැන් වළඳනවා නම්,
ඇත්තෙන්ම ඊට වැඩිය හොඳයි ගිනි සිළුවක් වගේ රත්වෙච්ච යකඩ ගුලියක් ගිලින එක.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි.
මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

:::ඛුද්දක නිකාය - 1 - තික නිපාතය:::
 
(Picked from Facebook

No comments:

Post a Comment