Wednesday, August 1, 2012

උත්තිය සූත්‍රය



උත්තිය සූත්‍රය - අංගුත්තර නිකාය.....

වරෙක උත්තිය නම් තවුසෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ අනවශ්‍ය ප්‍රශ්න රාශියක් උන්වහන්සේගෙන් අසන්නට පටන් ගති. ඔහුගේ අවබෝධය පිණීස හේතු නොවන ඒ ප්‍රශ්න පසෙක තැබූ උන්වහන්සේ ඉතා කෙටියෙන් මෙසේ වදාළහ.

"උත්තිය තාපසය, මා විසින් මේ සද්ධර්මය දෙසනු ලබන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගත් පැහැදිලි නුවණකිනි. එහෙයින් මේ සද්ධර්මය


*සත්වයන්ගේ පිරිසිදුභාවය පිණිස (සත්තානං විසුද්ධියා) පවතී.

*සෝක කිරීම්, වැළපීම් වලින් අත්මිදීම පිණිස (සෝක පරිද්දවානං සමතික්කමාය) පවතී.

*කායික - මානසික දුක්වලින් නිදහස්වීම පිණිස (දුක්ක දෝමනස්සානං අත්තංගමාය) පවතී.

*පරම සත්‍යය කුමක්දැයි අවබෝධ කරගැනීම පිණිස (ඤායස්ස අධිගමාය) පවතී.

*අමාමහා නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස (නිබ්බාණස්ස සච්චකිරියාය) පවතී.

උත්තිය තාපසය, මේ අරමුණ මුල් කොට ගෙනය මා විසින් සද්ධර්මය දෙසනු ලබන්නේ."

"හොඳයි එහෙම නම්භවත් ගෞතමයන් විසින්ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගත් ඥාණයෙන් යුතුව, ඔය අරමුණින් යුතුව දහම් දෙසන විට, ඒ ධර්මය අසා මුළු ලෝකයම නිවන් දකිනවා ද? එසේ නැතිනම් ලොකයෙන් තුන්කාලක් නිවන් දකිනවාද? එසේත් නැතිනම් ලොකයෙන් භාගයක් නිවන් දකිනවාද?

අනවශ්‍ය ප්‍රශ්න මත්තේම සාඩම්බර ලෙස හැපෙමින් සිටින මේ තවුසාගේ ලාමක ප්‍රශ්නයට උන්වහන්සේගේ පිළිතුරවූයේ නිහඪව වැඩ සිටීමය. එවිට ආනන්ද හිමියන් උත්තිය තවුසා අමතා වදාළේ "උත්තිය තාපසය, ඔබ පිළිතුරු සෙවීමට පලමුව ප්‍රශ්නය තෝරා බේරා ගත යුතුය. ඔය ප්‍රශ්නය ඇසිය යුත්තේ ඔය පිළිවෙලට නොවේ. 'මේ ලෝකයේ යමෙක් නිවන් අවබෝධ කරත් නම් ඒ කුමන ධර්මයක් වැඩීමෙන් ද?' කියාය. එවිට ඒ ප්‍රශ්නයට පිළිතුර මෙය වේ."

"අතීතයේ යම් කෙනෙක් නිවන් අවබෝධ කළාහූද, අනාගතයේ යම් කෙනෙක් නිවන් අවබෝධ කරන්නාහූද, වර්තමානයේ යමෙක් නිවන් අවබෝධ කරත්ද, ඒ සියළු දෙනාම සිත අපිරිසිදු කරන අතුසල ධර්ම දුරුකොට සතර සතිපට්ඨානයේ මනාකොට සිත පිහිටුවා ගෙන හරියාකාර ලෙස අවබෝධය පිණිස පවතින අංග හත (සප්ත බෝධ්‍යාංග) දියුණු කර ගැනීමෙනි."
 
(Picked from Facebook

No comments:

Post a Comment