Thursday, August 16, 2012

අනර්ථය විමසූ බමුණාගේ කථා වස්තුව


 5.6. ගාථා රත්න
අනර්ථය විමසූ බමුණාගේ කථා වස්තුව

"තමාව ජය ගැනීම සියලු දේට වඩා උතුම්"

පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහර මිනිස්සු ගොතන්න කැමති අමුතුම ප්‍රශ්නයි.නොගැළපෙන දේත් අසනවා.ගැළපෙන දේත් අසනවා.ඒ වගේ එක බ්‍රාහ්මණයෙක් මෙහෙම කල්පනා කළා.

"සම්බුදුරජාණන් වහන්සේ හැම තිස්සේම දේශනා කරන්නේ යහපත ගැනමයි.ඒකට හේතුව මිනිසුන් අහන්නේත් යහපතමනේ.මං වෙන දෙයක් අහන්න ඕන.මං ගිහින් ඇසිය යුත්තේ අයහපත ගැනයි.එතකොට කවර උත්තරයක් දේවිද කියා මට දැනගන්නට හැකි නෙව"

ඉතින් ඔහු බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට ගියා.

"පින්වත් ගෞතමයන් වහන්ස, මං ප්‍රශ්නයක් අහන්න කැමතියි.ඔබවහන්සේ දන්නේ යහපත විතරද? අයහපත ගැන අවබෝධයක් නැද්ද?"

"පින්වත් බ්‍රාහ්මණය, මං යහපත ගැනත් දන්නවා.අයහපත ගැනත් දන්නවා."

"එසේ වී නම් භවත් ගෞතමයන් වහන්ස, මට අයහපත ගැන පවසන සේක්වා!"

පින්වතුනේ, පින්වත් දරුවනේ, ලොව අයහපත හඳුනා ගැනීම හෝ යහපත හඳුනා ගැනීම හෝ කළ හැක්කේ සත්පුරුෂයාටයි.අසත්පුරුෂයාට ඒ හැකියාව නෑ.ඔහු ඒ දෙක පටලවා ගන්නවා.නොමග ගිය කෙනා සුමගට කැමති නෑ.මේ බ්‍රාහ්මණයාත් ඒ ප්‍රශ්නය අහන්න ඇත්තේ නොමග ගිය කෙනෙක් නිසා වෙන්න ඇති.බුදුරජාණන් වහන්සේ ඔහුට මෙසේ පිළිතුරු දී වදාළා.

"ඔබට අයහපත වුවමනා නම්, කළ යුත්තේ මෙයයි.හිරු නැගී දහවල් වනතුරුත් හොඳට නිදා ගන්න.කම්මැලිකමෙන් කල් ගෙවන්න.නපුරු, දුෂ්ටකමෙන් යුක්ත වෙන්න.කළ යුතු දෑ ඒ ඒ වෙලාවට නොකොට කල් දමන්න.නුසුදුසු තැන්වල තනියම යන්න.අනුන්ගේ කාන්තාවන් ඇසුරු කරන්න.එම්බා බ්‍රාහ්මණය, මේවා ඔබ කළොත් ඔබට සිදුවන්නේ අයහපතක්මයි."

එතකොට අර බ්‍රාහ්මණයා සාධුකාර දුන්නා.

"සාදු! සාදු! පිරිසට නායක වූ ශ්‍රමණයන් වහන්ස, පිරිසට ජේෂ්ඨ වූ ශ්‍රමණයන් වහන්ස, ඒකාන්තයෙන්ම ඔබවහන්සේ අයහපත කුමක්දැයි දන්නා සේක."

"ගෞතමයන් වහන්ස, මාගේ රැකියාව සූදු ක්‍රීඩාවයි."

"ඉතින් ඔබ ඔය රැකියාවේදී හැමදාම ජය ගන්නවාද?"

"අනේ නෑ...ඇතැම් විට දිනනවා.ඒ වගේම පරදිනවා."

"පින්වත් බ්‍රාහ්මණය, ඔය ජයගැනිල්ල බොහොම ලාමක දෙයක්.කිසි වටිනාකමක් නැති දෙයක්.හැබැයි ඔබට තමාව ජයගන්න පුළුවන් වුණොත් අන්න ඒ ජයග්‍රහණය නම් කිසිවෙකුට පැහැර ගන්න බෑ.නැති කරන්න බෑ."

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මිහිරි ස්වරයෙන් යුතුව මෙම ගාථාවන් වදාළා.

104.5.

අත්තා හවේ ජිතං සෙය්‍යෝ
යා චායං ඉතරා පජා
අත්තදන්තස්ස පෝසස්ස
නිච්චං සඤ්ඤතචාරිනෝ

සැබැවින්ම උතුම් දිනුමකි
කෙලෙස් පරදා තමා දිනූ විට
ලොවේ ජනයා කොතෙකුත්
උදම් ඇනුවත් බැහැර දෙයකට
තමා දමනය කරගෙන
සංවර වෙමින් නිතරම
දහම තුළ හැසිරෙන කෙනා
ලොව ජය ලබනු නිසැකය

105.6.

නේව දේවො න ගන්ධබ්බෝ
න මාරෝ සහ බ්‍රහ්මුනා
ජිතං අපජිතං කයිරා
තථාරූපස්ස ජන්තුනෝ

එබඳු ජයකින් යුතු විට
ලොවෙහි කිසි දෙවියකුට හෝ
ගාන්ධර්වයකුට හෝ
ලොවෙහි මාරයකුට හෝ
බඹ ලොවෙහි බඹෙකුට හෝ
කිසි අයුරකින් ඔහු ලද
නිකෙලෙස් ජයක් වෙයි නම්
පරදවාලිය නොහැක්කේමය

පින්වතුනේ, පින්වත් දරුවනේ, අර බ්‍රාහ්මණයා බුදුරජුන්ගෙන් විමසුවේ අයහපත ගැනයි.උන්වහන්සේ සැබෑ ලෙසම අයහපත පෙන්වා දුන්නා.උන්වහන්සේ ලොව අයහපත පෙන්වා දුන් නිසා තමයි කෙනෙකුට එයින් වළකින්න පුළුවන් වෙන්නේ.උන්වහන්සේ යහපත පෙන්වා දුන් නිසා තමයි කෙනෙකුට එය ඇති කරගත හැකි වෙන්නේ.

ඉතින් අයහපත බැහැර කොට, යහපත උපදවාගෙන තමා තුළ ගුණවත්කම් දියුණු කරගන්න උත්සාහවත් වුණොත් එය මිනිසුන් ලෙස අප ලබන දුර්ලභ වාසනාවක්.

අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 8 ( සහස්ස වර්ගය )
- පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ -
 
(Picked from Facebook

No comments:

Post a Comment