
බුදු දහම ලෝ සතුන්ට දෙලොව දියුණුව පිණිස හේතුවන මාර්ගයක් දේශනා කළ දහමකි. මෙමගින් සංසාරගත අනේකවිධ දුක්ඛයන්ගෙන් විනිර්මුක්තව ලබන උතුම් නිවන සඳහා වූ මාර්ගය ඉගැන්වෙන බැවින් එය ලෝකෝත්තර අංශයට පමණක් අවධානය යොමුකළ දේශනාවක් වශයෙන් ඇතැමුන් කල්පනා කරති. එහෙත් බුදුදහම මෙලොව පරලොව සුව සලසා ගැනීමත් එමගින් නිවන් සඳහා වන මග හෙළිපෙහෙළි කිරීමත් යන ලෞකික හා ලෝකෝත්තර යන දෙඅංශය කෙරෙහි ම අවධානය යොමු කළ දහමක් වශයෙන් හඳුනා ගැනීම වඩාත් නිවැරදිය. නිර්වාණය පිණිස වන වැඩ පිළිවෙළෙහි මූලික අඩිතාලම වර්තමාන ජීවිතය බැවින් මෙලොව දිවියේ සතුට, යහපත් පැවැත්ම හා හොඳ හිත පවත්වා ගැනීම කෙරෙහි බුදුදහම විශේෂ අවධානයක් යොමුකරයි. යහපත් ජීවිතයක් ගත කරන්නා මෙලොවත් පරලොවත් සතුටු වන බව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමයි.