Thursday, December 20, 2012

ඤාතී කෝලාහලය සංසිඳවීම ගැන කථා වස්තුව



පළමුවැනි, දෙවැනි සහ තෙවැනි ගාථා රත්නයන්
ඤාතී කෝලාහලය සංසිඳවීම ගැන කථා වස්තුව

"නෑයින්ට සැළකූ අයුරු ඉතා උතුම්ය...!"

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ පහළ වුණු ශාක්‍ය වංශයට හැම අතින්ම යහපතක්මයි වුණේ.උන්වහන්සේ නිසා හැම දෙනාටම සෙත සැළසුණා.එක් වතාවක ශාක්‍ය වංශිකයනුත්, කෝලිය වංශිකයනුත් ලේ වැගිරෙන භයානක යුද්ධයකට සූදානම් වුණා.බුදුරජාණන් වහන්සේ තමා එයට මැදිහත් වෙලා සංසිඳෙව්වේ.ඒ කතාව විස්තර වන්නේ මෙහෙමයි.


ශාක්‍යයන්ගේ කපිලවස්තු නගරයටත්, කෝලියන්ගේ කෝලිය නගරයටත් අතරේ රෝහිණී කියන නදිය ගලා බසිනවා.මේ නදියෙන් තමයි දෙපාර්ශවයට අයත් කුඹුරු යාය සරු වෙන්නේ.ගොවිතැන් කාලයට මේ අය කරන්නේ ගඟ හරහට තනි වේල්ලක් දානවා.එතකොට දෙපැත්තට වතුර ගලාගෙන යනවා.ඒ ජලයෙන් තමයි කුඹුරු සරු කරගන්නේ.

මෙවර පෑවිල්ලක් ආවා.පොසොන් මාසය වෙද්දී ගොයම් මැලවෙන්නට පටන් ගත්තා.ශාක්‍ය - කෝලියයන්ගේ කුඹුරු කරන මිනිස්සු රැස් වුණා.ශාක්‍යයන්ගේ ගොවීන්ට කෝලීය නගරවාසීන් මෙහෙම කිව්වා.

"මේ වතාවේ අපි දෙගොල්ලම ජලය බෙදාගන්ට ගියොත් ඔබට සෑහෙන්නෙත් නෑ.අපට සෑහෙන්නෙත් නෑ.දෙපැත්තෙම කුඹුරුවලට යහපතක් වෙන්නෙ නෑ.ඒ නිසා අපේ පැත්තේ කුඹුරුවලට පමණක් අස්වැන්න ගන්න මේ ජලය අපි හරවාගන්න තීරණය කළා.ඒ නිසා මෙවර මේ ජලය අපට දෙන්න."

"එහෙම කොහොමද කරන්නේ? ඔහෙලා කුඹුරු ටික සරු කරගනීවි.අටුකොටු පුරවා ගනීවි.එතකොට අපිට තමයි රන් රිදී මුතු මැණික් කහවණු අරගෙන, මලු එල්ලගෙන ඔහේලගේ ගෙවල් දොරවල් ගානේ ඇවිත් ඇවිද ඇවිද ඉන්න වෙන්නේ.එහෙම නෙවෙයි, මේ වතාවේ මේ ජලය අපේ පැත්තට හරවා ගන්න තීරණය කළා.ඒ නිසා මේ ජලය අපට දෙන්න."

එතකොට කෝලීය ගොවීන් කෑ ගැහුවා.

"බෑ...බෑ...එහෙම දෙන්න බෑ...!"

එතකොට ශාක්‍යයන්ගේ කුඹුරු කරන පිරිසත් කෑ ගැහුවා.

"එහෙමද...? අපි දෙන්නෙත් නෑ...!"

මේ විදිහට පටන් ගත්ත කෝලාහලය ටිකක් දුර ගියා.ඔවුන් එකිනෙකා කෑ ගහන්න පටන් ගත්තා.එතකොට එක්කෙනෙක් නැගිටලා තව කෙනෙකුට පහර දුන්නා.එතකොට ඔහුත් අනිකාට පහර දුන්නා.එතකොට රජ පවුල්වල ජාතීගෝත්‍ර ආදී කතාන්දර කියමින් අපහාස කරගනිමින් කෑ ගැහුවා.

කෝලීයයන්ගේ කුඹුර කරවන අය ශාක්‍යයන්ට අපහාස කළා.

"තොපි ගර්ජනා කරන්නේ කපිලවස්තුවාසීන්ගේ පැත්ත අරගෙනනේ...බලුකැණහිල්ලුන් වගේ තමතමන්ගේ සහෝදරියන් එක්ක පවුල් කාපු එවුන් නෙව.එබඳු එවුන්ගේ ඇත්තු ආවත්, අස්පයෝ ආවත්, කඩු පලිහ අරගෙන ආවත් අපට මක් කොරන්ටද?"

මේකට ශාක්‍යයන්ගේ සේවකයන්ට කේන්ති ගියා.

"දැනගනියව් තොපි දැන්...කුෂ්ට හැදිච්ච දරුවන්ගේ පරපුර පැත්ත අරගෙනද ගර්ජනා කරන්නේ.තොපි අනාථ වෙච්ච එවුන්...ජාතියක්, ජන්මයක් නැති තිරිසන්නු වගේ කොළොන් ගස් යට නෙව වාසය කළේ...එවැනි එවුන්ගේ ඇත්තු ආවත්, අස්පයන් ආවත්, කඩු පලිහ අරගෙන ආවත් මක් කොරන්ටද බොලව්....?"

ජාතිගෝත්‍ර ආදියෙන් අපහාස කරමින් මේ ඇවිස්සෙන කෝලාහලය ගැන ශාක්‍ය ඇමතිවරුන්ට ගිහින් කිව්වා.ඇමතිවරු ශාක්‍ය රජකුලයට දැනුම් දුන්නා.ශාක්‍යවරු කිපුණා.

"හරි...1 සහෝදරියන් සමග පවුල් කාපු එකේ හයියයි, බලයයි අපි පෙන්නනම්කෝ..." කියලා යුද්ධයට සැරසී නික්මුණා.

එතකොට කෝලීය රජවරුත්, "එහෙමද...? කොළොන් ගස් යට හිටපු එවුන්ගේ හයියයි, බලයයි අපිත් පෙන්නන්නම්කෝ...." කියලා යුද්ධයට සැරසී පිටත් වුණා.

එදා අපගේ මහා කාරුණික භාග්‍යවතුන් වහන්සේ ලොව බලා වදාළ වේලේ මහා පටලැවිල්ලකට හසුවී සිටින තම ඤාතීන් දුටුවා.

'මම මෙතනට මැදිහත් නොවුණොත් මේ උදවිය නිරපරාදේ මැරිලා යනවා.ඒ නිසා මං යන එක හොඳයි' කියලා භාග්‍යවතුන් වහන්සේ අහසින් වැඩම කළා.රෝහිණී නදිය මැද ආකාසේ පළඟක් බැඳ වාඩි වුණා.දෙපස හිටිය ඤාතිවර්ගයා අවි ආයුධ අත්හැරලා වන්දනා කළා.

"මහරජ, මේ කෝලාහලයේ නම මොකක්ද?"

"දන්නේ නෑ ස්වාමීනි."

"කවුද මේ කෝලාහලයේ නම දන්නේ....? කෝ...උප රාජවරු දන්නවාද? සේනාපතිවරු දන්නවාද? දාස කම්කරුවන් දන්නවාද?"

එතකොට ශාක්‍යයන්ගේ ගොවිකම් කරන සේවකයන් කෑ ගහලා මෙහෙම කිව්වා.

"ස්වාමීනි, මේකට කියන්නේ ජල කෝලාහලය කියලයි."

"මහරජ, එහෙම නම් දැන් කියන්න.ජලයේ වටිනාකම කීයද?"

"ස්වාමීනි, ජලය අල්ප වටිනාකමකින් යුක්තයි."

"එතකොට මහරජ, ක්ෂත්‍රියවරුන්ගේ වටිනාකම කීයද?"

"ස්වාමීනි, ක්ෂත්‍රියවරු අනර්ඝ වටිනාකමකින් යුක්තයි."

"මහරජ, හරි අයුක්තක් නෙව වෙලා තියෙන්නේ....අල්ප වටිනාකමකින් යුක්ත ජලය නිසා අනර්ඝ වටිනාකමකින් යුක්ත ක්ෂත්‍රියවරුන්වද මරන්න යන්නේ...?"

එතකොට දෙපක්ෂයේම පිරිස නිශ්ශබ්දව අහගෙන හිටියා.

"ඇයි මහරජ, මෙවැනි දෙයට පැටලෙන්නේ? අද මා නොසිටියා නම් ලේ ගංගාවක් ගලා හැලෙනවා නොවේද? මේක ඔබට වෙච්ච වැරැද්දක්.ඔබ වෛර ඇතිවෙන කරුණු වලින්ම වෛර සහිතවයි වාසය කරන්නේ.දැන් බලන්න මම...වෛර නැතිව වාසය කරනවා.ඊළඟට ඔබ...මේ කෙලෙස් නිසා රෝගී වෙලා වාසය කරනවා.දැන් බලන්න මම...කෙලෙස් නැතුව නීරෝගීව වාසය කරනවා.දැන් බලන්න ඔබ...පංච කාමය නිසා ඇවිස්සුණු සිතින් නෙව වාසය කරන්නේ.මම...කිසි ඇවිස්සීමක් නැතුවනේ ඉන්නේ."

මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය කෝලීයයන්ගේ හිතසුව පිණිස මධුර මනෝහර අයුරින් මේ මිහිරි ගාථාවන් වදාළා.

197.1.

සුසුඛං වත ජීවාම - වේරිනේසු අවේරිනෝ
වේරිනේසු මනුස්සේසු - විහරාම අවේරිනෝ

වෛරයෙන් දුක් විඳින ලොව තුළ - අවෛරී මෙත් සිතින් යුතුවම
වසමු අපි සුවසේම සැබැවින් - වෛර සිත් ඇති මිනිස් ලොව තුළ

198.2.

සුසුඛං වත ජීවාම - ආතුරේසු අනාතුරා
ආතුරේසු මනුස්සේසු - විහාරාම අනාතුරා

කෙලෙස් රෝගෙන් දුක් විඳින ලොව - අනාතුර වූ සිතින් හැමකල්
වසමු අපි සුවසේම සැබැවින් - කෙලෙස් ආතුර මිනිස් ලොව තුළ
අනාතුර වූ සිතින් වසනෙමු

199.3.

සුසුඛං වත ජීවාම - උස්සුකේසු අනුස්සුතා
උස්සුකේසු මනුස්සේසු - විහාරාම අනුස්සුතා

කාමයෙන් පීඩා විඳින ලොව - කිසිදු පීඩා නැති සිතින් යුතු
වසමු අපි සුවසේම සැබැවින් - කාම පීඩා මිනිස් ලොව තුළ
සිතින් පීඩා නැතිව වසනෙමු

පින්වතුනේ, පින්වත් දරුවනේ, බලන්න අපගේ භාග්‍යවතුන් වහන්සේගේ සිත මොනතරම් සැපයකින් ද තිබුණේ...? අදටත් දුක් විඳින ලෝකයේ කෙලෙස් නිසා හැමෝම දුක් විඳිනවා.වෛර ක්‍රෝධ නිසා හැමෝම දුක් විඳිනවා.කාම පීඩා නිසා දුක් විඳිනවා.ලෝකයේ පහසුකම් කොතරම් වැඩි වුණත් දුකේ අඩුවක් නැත්තේ ඒ නිසයි.නමුත් බුදුරජාණන් වහන්සේ එක එක්කෙනා තුළ ඇති ඒ දුක නිවාගන්නා හැටි තමයි දේශනා කළේ.

ඇත්තෙන්ම භාග්‍යවතුන් වහන්සේ එතැනට වැඩම කිරීම ඉතාමත්ම සාර්ථක වුණා.යුද්ධය නැති වුණා.වෛරය සංසිඳුණා.බොහෝ දෙනෙක්ට මාර්ගඵල ලැබුණා.ශාක්‍ය - කෝලීය වංශ දෙකෙන්ම දෙසිය පණහ බැගින් පන්සියයක් තරුණයන් පැවිදි වුණා.බුදු කෙනෙකු පහළ වීම කොයිතරම් වාසනාවක්ද ! බුදුරජාණන් වහන්සේ ඤාතී සංග්‍රහය කළ අයුරු ඉතා සුන්දරයි.ඉතා ධාර්මිකයි.

අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 15 ( සුඛ වර්ගය )
- පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ -

(Picked from Facebook
 

No comments:

Post a Comment