Wednesday, December 19, 2012

ඒරකපත්ත නා රජුගේ කථා වස්තුව


හතරවැනි ගාථා රත්නය
ඒරකපත්ත නා රජුගේ කථා වස්තුව

"නුවණ යොදන්නට බැරි වුණොත්..."

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපි කවුරුත් පින් කරද්දී එය කළ යුත්තේ අවබෝධයෙන්මයි.ඇතැම් අවස්ථාවලදී ඉතා සුළු අඩුපාඩු අප අතින් සිදු වෙන්න පුළුවනි.එවැනි දෙයක් වුණොත් ඒ ගැනම හිත හිතා ඉන්න නරකයි.තමන් කළ යහපත් දේවල් නැවත නැවත මෙනෙහි කරන්නට ඕන.ඒ ගැන සතුටු වෙන්නත් ඕන.එහෙම නැතුව ඉතාම සුළු දෙයක් පවා අනවශ්‍ය විදිහට සිතට ගත්තොත් එයින් ඉතාමත් බරපතල සෝචනීය ඉරණමක් හැදෙන්න ඉඩ තිබෙනවා.මේ කථාවත් එබඳු එකක්.


කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අලුත පැවිදි වූ භික්ෂුවක් නැවක නැගී ගඟෙහි ගමන් කරමින් සිටියා.ඒ ගං ඉවුරේ 'ඒරක' රුක් ගොමුවලින් සැදුණු කුඩා පඳුරු තිබුණා.ඉතින් මේ නැව ගං ඉවුරට ආසන්නව යද්දී මේ භික්ෂුව අර ඒරක ගසක කොළයක් අල්ලගත්තා.අත හරින්න අවස්ථාව තිබුණා.අත්හැරියේ නෑ.නැව වේගෙන් පිටත් වුණා.එතකොට අර ඒරක පත්‍රය ගිලිහී අතර ආවා.මේක ඉතින් සුළු දෙයක්නේ කියලා උන්වහන්සේ ගණනකට ගත්තේ නෑ.ඇවැත් දෙසුවේ නෑ.ඔය කරුණ අමතක වෙලා ගියා.විසි දහසක් අවුරුදු වනාන්තරයේ වාසය කළේ.ඉතා හොඳින් පැවිදි ජීවිතය ගත කළා.නමුත් උන්වහන්සේ අපවත් වීමට ආසන්නයේදී අර ඒරක පත්‍රය අල්ලා සිටිද්දී කැඩිලා අතට ආපු එක මතක් වුණා.

"අනේ මගේ අතින් වරදක් නෙව වුණේ...මේ ආපත්තිය භික්ෂුවකට කියා දේශනා කරගත යුතුයි" කියලා තම වරද මතක් කොට සංවර වීම පිණිස ඇවැත් දෙසීම සඳහා භික්ෂූන් වහන්සේ නමක් සෙව්වා.නමුත් සොයා ගන්නට බැරි වුණා.'අනේ මගේ සීලය අපිරිසිදුයි' කියලා උන්වහන්සේ පසුතැවුණා.අපවත් වුණේ ඒ දුකින් යුක්තවයි.

ඉතින් ඒ භික්ෂුව උපන්නේ ගසකින් කළ විශාල ඔරුවක් වගේ දැවැන්ත නාගරාජයෙකු වෙලයි.ඔහුට ලැබුණේ 'ඒරකපත්‍ර' යන නමයි.උපන් හැටියේම තමන්ගේ සිරුරේ ස්වාභාවය පෙණුනා.

"අයියෝ...මෙච්චර වසර දහස් ගණනක් ඉතා ආදරයෙන් මහණදම් පුරලත් ගෙම්බන් අනුභව කරන ධර්මාවබෝධය කරගන්නට බැරි අහේතුක යෝනියක නෙව මං උපන්නේ" කියලා බොහෝ දුකට පත් වුණා.

පසුකලක කර්මානුරූපව එක් නාග මානවිකාවක් දියණියක වශයෙන් එක් වුණා.ඉතින් මේ නාගරාජයා ගඟ මැද දිය මත පෙණය ඔසොවාගෙන ඉන්නවා.ඒ මත අර නාග මානවිකාව ලස්සනට නටනවා.ගීතත් ගයනවා.නාගරාජයාට මෙහෙම හිතුණා.

"හැබෑටම මට මේ උපායෙන් පුළුවන් වේවි, ආයෙමත් බුදුකෙනෙක් ලෝකයට පහළ වුණොත් ඒක දැනගන්න." කියලා මිනිසුන්ට මෙහෙම කිව්වා.

"මේ දියණිය ලස්සන ගීතයක් ගයාවී.මේ ගීයට නිවැරදි පිළිතුරු ගීය දෙන කෙනාට නාග ලෝකයේ තියෙන සම්පත් වගේම මේ නාග මානවිකාවත් දෙනවා."

අඩමසක් පාසා උපෝසථ දවස්වල ඒ නාග දියණිය පෙණය මත නටමින් ලස්සනට ගීය ගයනවා.

කිංසු අධිප්පති රාජා - කිංසු රාජා රජ්ජිස්සරෝ
කථංසු විරජෝ හෝති - කථං බාලෝති වුච්චති

කුමක් නිසාදෝ රජු හට 'අධිපත්' යැයි පවසන්නේ
කුමක් නිසාදෝ රජු හට 'රජිසුරු' යැයි පවසන්නේ
කෙළෙසින්ඳෝ ලොවේ කෙනෙක් 'විරජ' බවට පත්වන්නේ
කෙළෙසින් සිටින කෙනාද 'බාල' නමට නිසි වන්නේ

සියලු දඹදිවවාසීන් අතර මෙය ප්‍රසිද්ධ වුණා.නාග මානවිකාව අරගන්නට කැමති වුණා.තම තමන්ගේ නැණ පමණින් පිළිතුරු ගී බඳිමින් ගායනා කළා.ඇය ඒවා වැරදියි කියා ප්‍රතික්ෂේප කරනවා.ඔය අයුරින් අඩමසක් පාසා පෙණය මත සිට ගායනා කරමින් බුද්ධාන්තර කල්පයක් ගෙවිලා ගියා.

අපගේ ශාස්තෘන් වහන්සේ මිනිස් ලොව උපන්නා.දිනක් හිමිදිරි උදෑසන මහා කාරුණික බුදුඇසින් ලොව බලද්දී උත්තර නම් මානවකයෙකුට සෝවාන් ඵලයට පත් වීමේ පින ඇති බව දැක වදාළා.ඒ වගේම මේ උත්තර මානවකයාට තමයි අර නාගරාජයාගේ ගීයට පිළිතුරු දීමේ වාසනාව තිබුණේ.

උත්තර මානවකයාට නාගරාජයාගේ කතා පුවත සැල වුණා.ඔහුත් පිළිතුරු ගීයක් නිර්මාණය කරගත්තා.

එදා ඒරකපත්‍රයාගේ නාග දියණිය පෙණ ගොබය මත නටන දවසයි.උත්තර මානවකයා එතැනට යන්නට පිටත් වුණා.බරණැසට නුදුරින් මහරි රුක් සතකින් හෙබි ඉතා යහපත් සෙවණ ඇති තැනක් තිබුණා.බුදුරජාණන් වහන්සේ ඒ එක් මහරි රුක් සෙවණක වැඩහිටියා.උත්තර මානවකයා ඔය අසළින් ගමන් කරමින් සිටියා.එතකොට බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාළා.

"උත්තර, මෙහි එන්න."

"ස්වාමීනි, ඇයි?"

"මෙතනට එන්න."

එතකොට ඔහු බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණ වන්දනා කළා.පැත්තකින් වාඩි වුණා.

"උත්තර, කොහේද යන්නේ?"

"ස්වාමීනි, ඒරකපත්‍ර නාගරාජයාගේ නාග දියණිය ගායනා කරන තැනටයි යන්නේ."

"ඉතින් ඔබත් පිළිතුරු ගීයක් හදා ගත්තාද?"

"එහෙමයි ස්වාමීනි." කියලා උත්තර මානවකයා ඒ ගීය පැවසුවා.

"උත්තර, ඔය පිළිතුරු ගීය වැඩක් නෑ.මං ඔබට පිළිතුරු ගීයක් කියලා දෙන්නම්.එය රැගෙන යන්න."

"එහෙමයි ස්වාමීනි" උත්තර මානවකයා ඉතා සතුටට පත් වුණා.

"උත්තර, දැන් නාග මානවිකාව ගීය ගයන වෙලාවට ඔබ මේ පිළිතුරු ගීය ගයන්න.

ඡද්වාරාධිපත්තී රාජා - රජ්ජමානෝ රජ්ජිස්සරෝ
අරජ්ජං විරජෝ හෝති - රජ්ජං බාලෝති වුච්චති

අධිපති නම් දොරටු හයට ඔහුටයි 'රජු' කිව යුත්තේ
කෙලෙස්වලට ඇලෙන කෙනා 'රජිසුරු' යැයි කිව යුත්තේ
කෙලෙස් නොමැති උතුමා හට 'විරජ' කියා කිව යුත්තේ
කෙලෙසුන් තුළ ඉන්න කෙනා 'බාල' කියා කිව යුත්තේ

ඉතින් උත්තර දැන් ඔබ ඔය පිළිතුරු ගීය පැවසූ විට නාග මානවිකාව තව ගීයක් ගයාවී.එය මෙයයි.

කේනස්සු වුය්හති බාලෝ - කථං නූදති පණ්ඩිතෝ
යෝගක්ඛේමී කථං හෝති - තම්මේ අක්ඛාහි පුච්ඡිතෝ

අනුවණ බාලයා ගසා ගෙන යන්නේ කුමකින්දෝ
නුවණැත්තා ලොවේ සියලු දේ ජය ගන්නේ කෙළෙසින්දෝ
'යෝගක්ඛේමි' යන නම කිව හැක්කේ කෙළෙසින්දෝ
මේ පැනයන් හට පිළිතුරු දෙන්නේ මට කවුරුන්දෝ

උත්තර, ඔය ගීයට පිළිතුරු දිය යුත්තේ මෙන්න මේ ගීයෙනුයි.

ඕඝේන වුය්හති බාලෝ - යෝගානූදති පණ්ඩිතෝ
සබ්බයෝග විසංයුත්තෝ - යෝගක්ඛේමීති වුච්චති

සැඩපහරින් අනුවණයා දුකට ගසා ගෙන යන්නේ
නුවණැත්තා වෙර වඩමින් ජීවිතයයි ජයගන්නේ
සියලු කෙලෙස් බන්ධනයෙන් යමෙකුන් නිදහස් වන්නේ
යෝගක්ඛේමී නාමය ඔහුටයි කිව යුතු වන්නේ

උත්තර, ඔබ නාග මානවිකාවියට ඔය පිළිතුරු ගී පවසද්දී දිනුම ඔබට ලැබෙනවා."

උත්තර මානවකයා ඉතා සතුටින් මේ ගී පාඩම් කර ගත්තා.අර්ථ මෙනෙහි කළා.ඒ මොහොතේම සෝවාන් ඵලයට පත් වුණා.භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට පිටත් වුණා.

ඒ වේලාවේ නාග පෙණය මත සිටින නාග මානවිකාව ලස්සනට නටමින් ගී ගයනවා.

"භවත්නී, මා විසින් පිළිතුරු ගී හදාගෙනයි ආවේ.මටත් අවස්ථාවක් දෙන්න." කියලා උත්තර මානවකයා සෙනඟ පීරාගෙන ඉදිරියට ගියා.නාග මානවිකාව නටමින් 'කිංසූ අධිප්පතී රාජා....' යන ගීය ගැයුවා.උත්තර මානවකයා 'ඡද්වාරා අධිප්පතී රාජා....' යන පිළිතුරු ගීය හඬ නගා කිව්වා.ඊටපස්සේ නාග මානවිකාව 'කේනස්සු වුය්හති....' යන ගීතය ගායනා කළා.එතකොට උත්තර මානවකයා 'ඕඝේන වුය්හතී...' යන පිළිතුරු ගීය හඬ නගා කිව්වා.නාගරාජයා මේ පිළිතුරු ගී අසා ඉතාම සතුටට පත් වුණා.

"හප්පේ....! මදෑ.බුද්ධාන්තර කල්පයක්ම ගෙවිලා ගියා.මේ පිළිතුරු ගීය මෙතෙක් කාලෙකට අසන්න බැරි වුණා.ඒකාන්තයෙන්ම බුදුකෙනෙකු ලෝකයේ පහළ වෙලා තියෙනවාමයි" කියා සතුට වැඩිකමට නාගරාජයා වළිගය ඔසොවලා ඉතා වේගයෙන් ජලයට පහර දුන්නා.දෙපැත්තට මහා රළක් පැන නැංගා.ගංගාවේ ඉවුරු දෙපස බිඳිලා ගියා.ගවයෙකුගේ ප්‍රමාණයේ උසට දෙපස හිටපු මිනිසුන් වතුරේ ගිලුණා.නාගරාජයා එබඳුම මිනිසුන් ප්‍රමාණයක් පෙණ ගොබයෙන් වතුරෙන් ඔසොවා ගොඩබිම තිබ්බා.ඔහු උත්තර මානවකයා ළඟට ගියා.

"ස්වාමීනි, ශාස්තෘන් වහන්සේ කොහේද වැඩ ඉන්නේ...?"

"මහරජ, එක් රුක් සෙවණක වැඩ ඉන්නවා."

"ස්වාමීනි, එහෙම නම් අපි යමුද?" කියලා උත්තර මානවකයා සමග පිටත් වුණා.මහජනයාත් ඔවුන් සමග පිටත් වුණා.නා රජු බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් වන්දනා කරමින් හඬා වැළපෙන්න පටන් ගත්තා.

"මහරජ, මක්නිසාද අඬන්නේ...?"

"අනේ භාග්‍යවතුන් වහන්ස, නුඹවහන්සේ වැනි උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රාවකයෙකු වෙලා මං විසි දහසක් අවුරුදු මහණදම් පිරුවා.ඒත් මට මේ සසර දුකින් එතෙර වෙන්ට බැරිව ගියා.ඒරක ගහේ කොළයක් කඩාපු ඉතා සුළු වැරැද්දක් නිසා අහේතුක උපතක් ලැබුණා.බඩගාගෙන යන්න වුණා.බුද්ධාන්තරයක් ගෙවිලා යනවා.මේ ආත්මයෙන් චුත වුණේ නැහැ නෙව.මනුෂ්‍ය ආත්මයක් ලැබුණේ නැහැ.සද්ධර්ම ශ්‍රවණයක් ලැබුණේ නැහැ.නුඹවහන්සේ වැනි බුදුකෙනෙකුගේ දර්ශනයක් ලැබුණේ නෑ." කියා විලාප දුන්නා.

ඒ මොහොතේම බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාළා.

"මහරජ, ඒක ඇත්ත.මනුෂ්‍ය ආත්මභාවය ඉතාමත් දුර්ලභයි.ඒ වගේම සද්ධර්ම ශ්‍රවණයත් දුර්ලභයි.බුද්ධෝත්පාදයත් දුර්ලභයි.මේවා ඉතාමත් දුර්ලභව දුකසේ දුර්ලභවයි ලැබෙන්නේ" කියලා මෙම ගාථා රත්නය වදාළා.

182.4.

කිච්ඡෝ මනුස්සපටිලාභෝ
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්මසවනං
කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ

ඉතා දුකසේමයි කෙනෙකු හට
මිනිස් ලොව උපතක් ලැබෙන්නේ
ලද මිනිස් බව සුරැකගන්නට
නොමඳ වෙහෙසක්මයි යොදන්නේ
උතුම් සම්බුදු බණ අසන්නට
නිතර කෙනෙකුට නෑ ලැබෙන්නේ
කලාතුරකින්මයි ලොවේ මේ
උතුම් සම්බුදු උපත වන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, එදා නාගරාජයාට භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහුණා කියලා පලක් වුණේ නෑ.මිනිස් ලොව ඉපිද සිටියා නම් මාර්ගඵල ලැබීමේ අවස්ථාවක් තිබුණා.නාග යෝනියෙහි ඒ අවස්ථාව නෑ.දැන් බලන්න මිනිස් ලොව විසි දහසක් අවුරුදු මහණදම් පිරූ පින මතු කරගන්න බැරි වුණේ ඉතා සුළු දෝෂය පවා සිහි කරමින් පසුතැවුණු නිසයි.මෙය අප කාටත් හොඳ පාඩමක් නේද?

අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 14 ( බුද්ධ වර්ගය )
- පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ -

(Picked from Facebook
 

No comments:

Post a Comment