Tuesday, January 1, 2013

අග්ගිදත්ත බ්‍රාහ්මණයාගේ කථා වස්තුව


දහවැනි, එකොළොස්වැනි, දොළොස්වැනි, දහතුන්වැනි සහ දාහතරවැනි ගාථා රත්නයන්
අග්ගිදත්ත බ්‍රාහ්මණයාගේ කථා වස්තුව

"බුදු සරණ ලැබෙන හැටි හරි පුදුමයි."

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ගොඩාක් පින් ඇති අය ඉපදිලා හිටියා.හැබැයි තම තමන්ගේ සසරගත පුරුදු අනුව අනවශ්‍ය දේවල්වල පැටලිලා හිටියා.තමන්ට ධර්මයේ පිළිසරණ ලැබෙන කාලය එනකම් ඔහේ ජීවත් වුණා.නොයෙක් දෘෂ්ටි ගත්තා.වැරදි මතවාදවල පැටලුණා.නමුත් නිවන් අවබෝධය සඳහා පින මතුවෙද්දී ඒ සියල්ල අභිබවා දහම කරා ගියා.එවැනි කථා ප්‍රවෘත්තියක් තමයි දැන් දැනගන්නේ.


කොසොල් රජ්ජුරුවන්ගේ පියාගේ නම මහකොසොල් රජු.ඔහුට පුරෝහිත බ්‍රාහ්මණයෙකු හිටියා.මේ බ්‍රාහ්මණයාගේ නම අග්ගිදත්ත.පිය රජතුමාගේ කලුරිය කිරීමෙන් පසු ලැබුණේ පසේනදී කෝසල රජුටයි.මාගේ පිය රජුගේ පුරෝහිත බ්‍රාහ්මණයා නෙව කියලා කොසොල් රජතුමාත් මොහුව ඒ පරණ පුරෝහිත තනතුරේම පිහිටෙව්වා.

ඉතින් ඒ අග්ගිදත්ත බ්‍රාහ්මණයා රාජ සේවය පිණිස පැමිණෙද්දී කොසොල් රජු පෙරගමන් කොට පිළිගන්නවා.'ආචාර්යපාදයෙනි, මෙහි වාඩිවෙන්න' කියලා තමන් අසලින්ම ආසනයක වාඩිකරවා ගන්නවා.කලක් යද්දී ඔහුට මෙහෙම හිතුණා.

'මේ රජතුමා මට සෑහෙන්න ගෞරව දක්වනවා.නමුත් හැමතිස්සේම රජවරුන්ගේ සිත පහදවාගෙන සිටීම ලෙහෙසි වැඩක් නෙවෙයි.සමාන වයසින් වත් හිටියා නම් රාජ සැපයෙහි සැපකුත් තියෙනවා.නමුත් මං මහලු කෙනෙක් නෙව.මට වටින්නේ පැවිදි වීමයි' කියලා මේ අග්ගිදත්ත බ්‍රාහ්මණයා රජතුමාගෙන් අවසර ලබාගත්තා.නගරය පුරා අඬබෙර පැතිරෙව්වා.තමන්ගේ නිවසට මහජනයා රැස් කළා.හත් දවසක් මුළුල්ලේ සියලු ධනය දන් දුන්නා.බුදු සසුනෙන් බාහිර පැවිද්දෙන් පැවිදි වුණා.

මේ අග්ගිදත්ත බ්‍රාහ්මණයාට හිතවත්ව සිටි දස දසක් පිරිවරත් පැවිදි වුණා.ඉතින් මේ අග්ගිදත්ත බ්‍රාහ්මණයා පිරිස පිරිවරාගෙන අංග, මගධ, කුරු යන රටවල් අතරේ වාසය කරමින් චාරිකාවේ යනවා.පැවිදි වූ පිරිසට අවවාදත් කරනවා.

"මාගේ දරුවෙනි, කාම විතර්කාදී අකුසල් උපන්නොත් ඒ හැම වාරෙටම අර නදියෙන් එක එක වැලි ගොටුව බැගින් මෙතැනට ගෙනවිත් විසුරුවන්න."

ඉතින් ඔහුගේ පිරිසත් කාම විතර්කාදිය හිතේ ඇති වුණු වෙලාවට වැලි ගෙනත් ගෙනත් විසිරෙව්වා.කලක් යද්දී මහා වැලි ගොඩක් ඇති වුණා.එතකොට අග්ගිදත්ත නමින් යුතු මහා නාග රාජයෙකු ඇවිදින් ඔය වැලි ගොඩට අරක් ගත්තා.අංග, මගධ, කුරු රටවාසී මහජනයා මාසයක් පාසා මේ පැවිද්දන් සඳහා මහත් සත්කාර පැවැත්තුවා.දාන මාන දුන්නා.එතකොට මේ අග්ගිදත්තයන් මෙහෙම අවවාද කළා.

"එම්බා පින්වත්නි, සියලු දුකෙන් මිදෙන්නට ඕන නම් පර්වත සරණ යව්.වනාන්තර සරණ යව්.ආරාම සරණ යව්.වෘක්ෂ සරණ යව්' කියලා.තමන්ගේ අතවැසියනුත් මේ අවවාදය තමයි දෙන්නේ.

එදා බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේත්වනයෙහි වැඩ සිටිමින් හිමිදිරි උදෑසන සම්බුදු ඇසින් ලොව බලා වදාළා.උන්වහන්සේගේ උතුම් බුද්ධ නේත්‍රයට පෙනී ගියේ පිනෙන් මෝරා ගිය අග්ගිදත්තයන් සහ ඔහුගේ පිරිවරයි.

භාග්‍යවතුන් වහන්සේ මහා මොග්ගල්ලයානන් වහන්සේව ඇමතුවා.

"මොග්ගල්ලාන, අර අග්ගිදත්තයන් මහජනයාව වැරදි තොටකට බස්සනවා නෙව.ඔබට පෙනෙනවා නේද? යන්න.ගිහින් ඔහුට අවවාද කරන්න."

"ස්වාමීනි, එතන ලොකු පිරිසක් ඉන්නවා.හුදෙකලාවේ ඉන්න මට ලොකු පිරිසක් සමග සිටීම අපහසුයි.නමුත් භාග්‍යවතුන් වහන්සේ වඩිනා සේක් නම් මට පහසුවක් වේවි."

"මොග්ගල්ලාන, මමත් පැමිණෙනවා.ඔබ පළමුව යන්න."

එතකොට මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ මෙහෙම හිතුවා.

"එතන මහා විශාල පිරිසක් ඉන්නවා.පිරිස මැද්දට ගිහින් යම්කිසි කරුණක් කිව්වොත් ඔහුන් සමූහ වශයෙන් එක් රැස් වෙවී දහම් කතාවට ඇති ඉඩ අහුරන්න ඉඩ තියෙනවා.'

එහෙම හිතලා මොග්ගල්ලානයන් වහන්සේ සෘද්ධි බලයෙන් පොද වැස්සක් ඇති කළා.එතකොට හිටි හිටි තැනින් නැගිටලා ඔවුන් තම තමන්ගේ පන්සල් කුටිවලට පිවිසුණා.මොග්ගල්ලානයන් වහන්සේත් අග්ගිදත්ත බ්‍රාහ්මණයාගේ පන්සල් දොරකඩට ගියා.'අග්ගිදත්ත' කියලා ඇමතුවා.පන්සල ඇතුළේ හිටිය අග්ගිදත්තයන්ට නම කියා අමතනවා ඇහුණා.

'ම්...මේ ලෝකයේ මට නමින් අමතන්නට සමර්ථ කෙනෙක් නම් නෑ.කවුද මට මේ නමින් අමතන්නේ...?'

දැඩි මාන්නයකින් යුතු අග්ගිදත්තයන් "කවුද ඔය...?" කියලා ඇහුවා.

"බ්‍රාහ්මණය, මේ මම."

"ඉතින් මොකද කියන්නේ...?"

"බ්‍රාහ්මණය, මට අද එක් රැයක් මෙහි ඉන්න තැනක් අවශ්‍යයි.ඒකයි ඔබට මේ කිව්වේ..."

"මෙහි ඉන්න තැනක් නෑ...එක එක්කෙනාට පන්සල බැගින් තියෙන්නේ."

"අග්ගිදත්ත, මිනිස්සු මිනිසුන් ළඟට යනවා.ගවයා ගවයන් ළඟට යනවා.පැවිද්දා පැවිද්දන් ළඟට යනවා.ඒ නිසා ඔහොම කරන්න එපා.මට ඉන්න තැනක් දෙන්න."

"ඒ කියන්නේ ඔබ පැවිද්දෙක්ද?"

"එසේය, මම පැවිද්දෙක්."

"ඉදින් පැවිද්දෙක් නම් කොයි ඔබගේ පැවිදි පිරිකර? කෝ කරබඩු?"

"බ්‍රාහ්මණය, මට පැවිදි පිරිකර තියෙනවා.ඒවා ඔසොවාගෙන යාම දුකක් නිසා මම අභ්‍යන්තරය තුළමයි රැගෙන යන්නේ."

"එහෙම නම් ඒවත් අරගෙන යන එකයි ඇත්තේ..."

"අග්ගිදත්ත, කේන්ති ගන්න එපා...මට ඉන්න තැනක් දෙන්න."

"මෙහෙ ඉන්න තැන් නෑ...!"

"එහෙම නම් අර වැලි ගොඩේ කවුද වාසය කරන්නේ...?"

"එතන නාග රාජයෙක් ඉන්නවා."

"එහෙම නම් එතන දෙන්න."

"හප්පා...එතන දෙන්න බෑ...ඒක මහා බරපතල වැඩක් නෙව."

"ආ...ඒකට කමක් නෑ.එතන දෙන්න."

"එහෙම නම් ඒකෙ වගකීම ඔහෙම බලාගන්න."

අපගේ මහා මොග්ගල්ලානයන් වහන්සේ ඒ වැලි ගොඩ දෙසට පිටත් වුණා.එතනට වඩින තෙරුන් වහන්සේව දුටු නාග රාජයා මෙහෙම හිතුවා.

'ම්....මේ ශ්‍රමණයා මේ පැත්තට වගෙයි එන්නේ...මෙතන මං ඉන්න තැනක් බව දන්නේ නැතිව ඇති.හරි...දුම් පිටකරලම මං මොහුව මරණවා....'කියලා නාග රාජයා දුම් පිට කළා.

'මේ නා රජු හිතාගෙන ඉන්නේ තමන්ට පමණයි දුම් පිට කරන්න පුළුවන් කියලා.අන් අයට බැරිය කියලයි හිතාගෙන ඉන්නේ.' කියලා මහා මොග්ගල්ලානයන් වහන්සේ දුමෙන් වැසී ගියා.

මේ සිරුරු දෙකෙන් නැගුණු දුම බඹලොව දක්වා පැන නැංගා.මොග්ගල්ලානයන් වහන්සේට කිසිම බාධාවක් නෑ.නාග රාජයාට නම් හරිම අමාරුයි.දුමෙහි පීඩාව ඉවසගන්න බැරි නාග රාජයා ගිනි දැල් පිට කළා.මොග්ගල්ලානයන් වහන්සේත් ගිනි දැල් පිට කළා.ඒ ගිනි ජාලාව බඹලොව දක්වා පැන නැංගා.අපේ මොග්ගල්ලානයන් වහන්සේට කිසිම පීඩාවක් ඇති වුණේ නෑ.නමුත් නාග රාජයාගේ මුළු සිරුරම ගිනි පන්දමක් වගේ පිච්චුණා.ඒ සෘෂිවරු පිරිස ඒ දෙස බලා සිටියා.

"හප්පේ...ආන්...නාග රාජයා අර ශ්‍රමණයාව දවනවා...හරි අපූරු ශ්‍රමණයෙක්...කෝ අපේ වචනය ඇහුවේ නෑ නෙව.නිකං වැනසුණා."

මොග්ගල්ලානයන වහන්සේ නා රජු දමනය කළා.ඒ වැලි ගොඩ මත වැඩ හිටියා.එතකොට ඒ නාග රාජයා තමන්ගේ දරණ වැලෙන් වැලි ගොඩ ඔතාගෙන මොග්ගල්ලානයන් වහන්සේට ඉහළින් පෙණය ඔසොවාගෙන සිටියා.

ඒ සෘෂිවරු උදෑසනම 'ශ්‍රමණයා මැරුණාවත්ද? මැරිලා නැද්ද?' කියලා මොග්ගල්ලානයන් වහන්සේ ළඟට ගියා.ගිහින් ඇඟිලි බැඳගෙන වන්දනා කරගෙන මෙහෙම ඇහුවා.

"ශ්‍රමණයන් වහන්ස, නාග රාජයාගෙන් කරදරයක් වුණේ නැද්ද?"

"ඇයි ඔබට පේන්නේ නැද්ද? මට ඉහළින් පෙණ ගොබය ඔසොවාගෙන ඉන්නේ නාග රාජයා නෙව."

"භවත් ශ්‍රමණයන් වහන්ස, ඇත්තෙන්ම ආශ්චර්යයි.මෙබඳු වූ නාග රාජයාවත් දමනය කළා නෙව" කියලා අපේ මොග්ගල්ලානයන් වහන්සේව වට කරගත්තා.ඒ මොහොතේම භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා.මොග්ගල්ලානයන් වහන්සේ නැගිට ගිහින් භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා.එතකොට සෘෂිවරු උන්වහන්සේගෙන් මෙහෙම ඇහුවා.

"මේ තැනැත්තා ඔබවහන්සේටත් වඩා බලවත් කෙනෙක්ද?"

"මේ වැඩ ඉන්නේ අපගේ ශාස්තෘන් වහන්සේ වන භාග්‍යවතුන් වහන්සේ.මම මුන්වහන්සේගේ ශ්‍රාවකයෙක්."

භාග්‍යවතුන් වහන්සේ වැලි ගොඩ මත වැඩ හිටියා.අර සෘෂිවරු පිරිස 'ශ්‍රාවකයන් වහන්සේට මෙච්චර ආනුභාවයක් නම් ශාස්තෘන් වහන්සේට කොහොම ආනුභාවයක් ඇද්ද' කියලා වන්දනා කරගෙන හිටියා.භාග්‍යවතුන් වහන්සේ අග්ගිදත්තයන් ඇමතුවා.

"අග්ගිදත්ත, ඔබ ශ්‍රාවකයන්ට, උපස්ථායකයන්ට අවවාද කරද්දී මොනවද කියන්නේ?"

"එම්බා පින්වත්නි, සියලු දුකෙන් මිදෙන්නට ඕන නම් පර්වත සරණ යව්.වනාන්තර සරණ යව්.ආරාම සරණ යව්.වෘක්ෂ සරණ යව් කියලයි මං කියන්නේ."

"නැහැ, අග්ගිදත්ත.ඕවා සරණ ගිහින් සියලු දුකින් නිදහස් වෙන්ට බෑ.බුදුන්, දහම්, සඟුන් සරණ ගියොත් සියලු සසර දුකෙන්ම නිදහස් වෙනවා."

මෙසේ වදාළ බුදුරජාණෝ මෙම ගාථාවන් මිහිරි සරින් වදාළා.

188.10.

බහුං වෙ සරණං යන්ති - පබ්බතානී වනානි ච
ආරාමරුක්ඛචේත්‍යානී - මනුස්සා භයතජ්ජිතා

බියෙන් තැතිගත් මිනිසුන් - පර්වත වනාන්තර හා
ආරාම රුක් මෙන්ම චේතිය - වැනි බොහෝ දෑ සරණ යත්මයි

189.11.

නේතං ඛෝ සරණං ඛේමං - නේතං සරණමුත්තමං
නේතං සරණමාගම්ම - සබ්බ දුක්ඛා පමුච්චති

මේ සරණේ රැකවරණයක් නැත - උතුම් සරණක් නොවේ මෙසරණ
මේ සරණ වෙත පැමිණි කෙනෙකුට - හැම දුකින් නැත්තේය මිදුමක්

190.12.

යෝ ච බුද්ධංච ධම්මංච - සංඝංච සරණං ගතෝ
චත්තාරී අරියසච්චානී - සම්මප්පඤ්ඤාය පස්සති

යම් කෙනෙක් බුදු සරණ ලැබගෙන - දම් සරණ සඟ සරණ ලැබුවෙද
උතුම් වූ චතුරාර්ය සත්‍යය - මනා නුවණින් දකිනු නිසැකය

191.13.

දුක්ඛං දුක්ඛසමුප්පාදං - දුක්ඛස්සච අතික්කමං
අරියඤ්චට්ඨංගිකං මග්ගං - දුක්ඛූපසමගාමිනං

දුකත්, එහි හට ගැනීමත් - දුක් ඉක්මවා යෑමත්
අරි අටැඟි මග නම් වූ - දුක් නැති කරන ගමනත්

192.14.

ඒතං ඛෝ සරණං ඛේමං - ඒතං සරණමුත්තමං
ඒතං සරණමාගම්ම - සබ්බ දුක්ඛා පමුච්චති

මෙසරණයයි රැකවරණය - මෙයයි උත්තම සරණය
මෙසරණයට පැමිණුනු කෙනා - හැම දුකින් නිදහස් වේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම ගාථාවන් සහිත දේශනාවට සවන් දුන් ඒ සියලු ඉසිවරු පටිසම්භිදාලාභී රහතන් වහන්සේලා බවට පත් වුණා.එතකොට භාග්‍යවතුන් වහන්සේ 'පින්වත් මහණෙනි, මෙහි එන්න, බඹසර හැසිරෙන්න.' කියලා වදාළා.එසැණින්ම ඒ සියලු දෙනා වහන්සේටම සිවුරු පිරිකර පෙරවුණා.හැටවස් පිරුණු තෙරුන් වහන්සේලා වගේ දිස් වුණා.ඒහිභික්ෂු පැවිදි උපසම්පදාව ලැබුණා.

එදා අංග, මගධ, කුරු රටවාසීන් දන් පැන් අරගෙන එන දවසක්.මේ ඉසිවරු සියලු දෙනා පැවිදි වී සිටිනවා දැකලා ඔවුන් මෙහෙම කල්පනා කළා.

"දැන් මෙතන ශ්‍රෙෂ්ඨ කවුද? අග්ගිදත්ත බ්‍රාහ්මණයාද? නැත්නම් ශ්‍රමණ ගෞතමයන් වහන්සේද?"

එතකොට භාග්‍යවතුන් වහන්සේ අග්ගිදත්තයන් දෙස බලා,

"අග්ගිදත්ත, මේ පිරිසේ සැකය නැති කරන්න." කියා වදාළා.

අග්ගිදත්තයන් වහන්සේ සෘද්ධි බලයෙන් සත් වරක් අහසේ කැරකැවී භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණ වන්දනා කළා.

"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘන් වහන්සේය.මම ශ්‍රාවකයා වෙමි." කිව්වා.ඒ සියලු දෙනාත් භාග්‍යවතුන් වහන්සේ සරණ ගියා.

පින් තියෙන කෙනාට ධර්මය ලැබුණු හැටි හරි පුදුමයි.අපිත් තෙරුවන් කෙරෙහි සිත පහදාගෙන උතුම් තිසරණ සරණ ගිහින් පිළිසරණ සදා ගනිමු.

අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 14 ( බුද්ධ වර්ගය )
- පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ -

(Picked from Facebook
 

No comments:

Post a Comment